අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(11) 1. ඵාසු විහාර වර්‍ගය

1. වෙසාරජ්ජ කරන ධම්ම සූත්‍රය

’’මහණෙනි, ශෛක්‍ෂයන්ගේ විශාරද භාවය ඇති කරන්නාවූ මේ ධර්‍ම පසක් වෙත්.

’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, සිල් ඇත්තේ වේද, බහුශ්‍රුත වේද, පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, ප්‍රඥා ඇත්තේ වේද, මහණෙනි, ශ්‍රද්‍ධා නැත්තහුට වනාහි යම් දොම්නසක් වේද, ශ්‍රද්‍ධා ඇත්තහුට ඒ දොම්නස නොවෙයි.

’’එහෙයින් මේ ධර්‍මය තෙම ශෛක්‍ෂයන්ගේ විශාරද භාවය ඇති කරන්නේ වෙයි.

’’මහණෙනි, දුශ්ශීලයාහට යම් දොම්නසක් වේද, සිල්වත්හට ඒ දොම්නස් නොවෙයි. එහෙයින් මේ ධර්‍මය තෙම ශෛක්‍ෂයන්ගේ විශාරද භාවය ඇති කරන්නේ වෙයි.

’’මහණෙනි, අල්ප ශ්‍රුතයාහට යම් දොම්නසක් වේද, බහුශ්‍රුතයාහට ඒ දොම්නස නොවේ. එහෙයින් මේ ධර්‍මය තෙම ශෛක්‍ෂයන්ගේ විශාරද භාවය ඇති කරන්නේ වෙයි.

’’මහණෙනි, කුසීතයාහට යම් දොම්නසක් වේද, පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තාහට ඒ දොම්නස නොවේ. එහෙයින් මේ ධර්‍මය තෙම ශෛක්‍ෂයන්ගේ විශාරද භාවය ඇති කරන්නේ වෙයි.

’’මහණෙනි, දුෂ්ප්‍රාඥයාහට යම් දොම්නසක් වේද, පටන් ගන්නා ලද ප්‍රඥා ඇත්තහුට ඒ දොම්නස නොවේ. එහෙයින් මේ ධර්‍මය තෙම ශෛක්‍ෂයන්ගේ විශාරද භාවය ඇති කරන්නේ වෙයි.

’’මහණෙනි, ශෛක්‍ෂයන්ගේ විශාරද භාවය ඇති කරන්නාවූ මේ ධර්‍ම පසක් වෙත්.