අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(12) 2. අන්‍ධකවින්‍ද වර්‍ගය
6. වණ්න ගණන සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් නරකයෙහි උපදී.
’’කවර පසකින්ද යත්? නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, නොදැන නොසොයා නොපැහැදිය යුතු තැන පැහැදීම පහළ කෙරේද. නොදැන නොසොයා පැහැදිය යුතු තැන නොපැහැදීම පහළ කෙරේද, ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය අගය අඩු කෙරේද, යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් නරකයෙහි උපදී.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.
’’කවර පසකින්ද යත්? දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, දැන සොයා නොපැහැදිය යුතු තැන නොපැහැදීම පහළ කෙරේද. දැන සොයා පැහැදිය යුතු තැන පැහැදීම පහළ කෙරේද, ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය අගය අඩු බවට නොපමුණුවාද යන පසිනි.’’
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.