සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
1. බුද්ධ වර්ගය
8. කෝනාගම සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු බුදුන්ට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, බුද්ධත්වයට පෙරම බුදු නොවූ බෝසත්වූම, භාග්‍යවත්වූ, අර්හත්වූ, කෝනාගමන නම් සම්මා සම්බුදුන්ට මේ සිත පහළවිය. ‘මේ සත්වලෝකයා (මේ සත්වලෝකයට) දුකසේ පැමිණියේ උපදීද, ජරාවට පත්වීද, මැරේද, චුතවේද, පිළිසිඳ ගනීද, එතකුදු වුවත් ජරාමරණයෙන් යුත් මේ දුක නැතිකිරීම නොදනී. කවර කලක ජරාමරණයෙන් යුත් මේ දුක නැතිකිරීම දකින්නේද?’ කියායි. ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි ජරාව සහ මරණය ඇති වේද, කුමක් නිසා ජරාව සහ මරණය ඇති වේද?’ කියායි.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ඉපදීම ඇති කල වනාහි ජරාව සහ මරණය ඇතිවෙයි. ඉපදීම නිසා ජරාව සහ මරණය ඇති වෙයි කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් ඇති කල්හි ඉපදීම ඇති වේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් භවය ඇති කල්හි වනාහි ඉපදීම ඇතිවෙයි කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් ඇතිකල්හි වනාහි භවය ඇතිවේද, කුමක් නිසා භවය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය (තදින් ඇලීම) ඇති කල්හි වනාහි භවය ඇතිවෙයි, උපාදානය නිසා භවය ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි උපාදානය ඇතිවේද, කුමක් නිසා උපාදානය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘තණ්හාව ඇති කල්හි වනාහි උපාදානය ඇතිවෙයි.’ තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය, ‘කුමක් ඇති කල්හි තණ්හාව ඇතිවේද කුමක් නිසා තණ්හාව ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘වේදනාව ඇතිකල්හි වනාහි තණ්හාව ඇතිවෙයි,’ කියා (නුවණින්) අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි වේදනාව ඇතිවේද, කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය ඇති කල්හි වනාහි වේදනාව ඇති වෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවේද, කුමක් නිසා ස්පර්ශය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවෙයි, සළායතනයන් නිසා ස්පර්ශය ඇති වෙයි, කියා (නුවණින්) අවබෝධ විය.”
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇතිකල්හි වනාහි සළායතනයන් ඇතිවේද, කුමක් නිසා සළායතනයන් ඇතිවේද?’ මහණෙනි; කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයන් ඇති කල්හි වනාහි සළායතනයන් ඇතිවෙයි. නාමරූපයන් නිසා සළායතනයන් ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි නාමරූපයන් ඇතිවේද, කුමක් නිසා නාමරූපයන් ඇතිවේද?’ කියායි. මහණෙනි; කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය ඇති කල්හි නාමරූප ඇතිවෙයි, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවේද?, කුමක් නිසා විඤ්ඤාණය ඇතිවේද?’ කියායි. මහණෙනි; කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාරයෝ ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි සංස්කාරයෝ ඇතිවේද?, කුමක් නිසා සංස්කාරයෝ ඇතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘අවිද්‍යාව ඇතිකල්හි වනාහි සංස්කාරයන් ඇතිවෙයි. අවිද්‍යාව නිසා සංස්කාරයන් ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මෙසේ වනාහි අවිද්‍යාව නිසා සංස්කාරද, සංස්කාර නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතිය (ඉපදීම) ද, ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවීම වෙයි. මහණෙනි; කෝනාගමන නම් බෝසතුන්ට වනාහි ඇතිවීම, ඇතිවීමයයි පෙර නොඇසූ මේ කාරණයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි; කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ජරාමරණය නැතිවේද, කවරක් නැතිවීමෙන් ජරාමරණය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ ‘ඉපදීම නැති කල්හි වනාහි ජරාමරණය ඇතිනොවේ. ඉපදීම නැති කිරීමෙන් ජරාව සහ මරණය නැතිවේ’ යයි (නුවණින්) අවබෝධ විය.
මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ඉපදීම නැතිවේද, කවරක් නැතිවීමෙන් ඉපදීම නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන් භවය නැති කල්හි වනාහි ඉපදීම ඇති නොවේ. භවය නැති කිරීමෙන් ඉපදීම නැතිවේය’යි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි භවය නැතිවේද, කවරක් නැතිවීමෙන් භවය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය නැති කල්හි වනාහි භවය ඇතිනොවේ. උපාදානය නැතිකිරීමෙන් භවය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය, ‘කුමක් නැති කල්හි වනාහි උපාදානය නැති වේද, කවරක් නැතිවීමෙන් උපාදානය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් තණ්හාව නැති කල්හි වනාහි උපාදානය ඇති නොවේ. තණ්හාව නැති කිරීමෙන් උපාදානය නැතිවේයයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි තණ්හාව නැතිවේද, කවරක් නැතිවීමෙන් තණ්හාව නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් වේදනාව නැති කල්හි වනාහි තණ්හාව ඇති නොවේ. වේදනාව නැති කිරීමෙන් තණ්හාව නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය. “කුමක් නැති කල්හි වනාහි වේදනාව නැති වේද, කවරක් නැතිවීමෙන් වේදනාව නැතිවේද?’ කියායි මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය නැති කල්හි වනාහි වේදනාව ඇති නොවේ. ස්පර්ශය නැති කිරීමෙන් වේදනාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ස්පර්ශය නැතිවේද, කවරක් නැති වීමෙන් ස්පර්ශය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇතිතතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් නැති කල්හි වනාහි ස්පර්ශය ඇති නොවේ. සළායතනයන් නැති කිරීමෙන් ස්පර්ශය නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි සළායතනයන් නැතිවේද, කවරක් නැතිවීමෙන් සළායතනයන් නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයන් නැති කල්හි වනාහි සළායතනයන් ඇති නොවේ. නාමරූපයන් නැති කිරීමෙන් සළායතනයන් නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැතිකල්හි වනාහි නාමරූපයන් නැතිවේද, කවරක් නැතිවීමෙන් නාමරූපයෝ නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය නැති කල්හි වනාහි නාමරූපයන් ඇති නොවේ. විඤ්ඤාණය නැති කිරීමෙන් නාමරූපයන් නැති වේය’යි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි විඤ්ඤාණය නැති නොවේද? කවරක් නැති වීමෙන් විඤ්ඤාණය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාර නැති කල්හි වනාහි විඤ්ඤාණය ඇති නොවේ. සංස්කාර නැතිකිරීමෙන් විඤ්ඤාණය නැතිවේය’යි (නුවණින්) අවබෝධ විය.
මහණෙනි, ඉක්බිතිව කෝනාගමන නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි සංස්කාර නැතිවේද, කවරක් නැති කිරීමෙන් සංස්කාර නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කෝනාගමන නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් අවිද්‍යාව නැති කල්හි වනාහි සංස්කාර ඇති නොවේ. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
මෙසේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැති වෙයි. මහණෙනි, කෝනාගමන නම් බෝසතුන්ට වනාහි නැතිවීම නැතිවීම යයි පෙර නොඇසූ විරූ ධර්මය විෂයෙහි නුවණැස පහළ විය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළ විය.”
(අටවන කෝනාගමන සූත්‍රය නිමි.)