ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
42. භද්දාලි වග්ග
9. පත්‍ථොදන දායක ථෙරාපදානය
’’මම පෙර නිරතුරුවම වනයෙහි කටයුතු කරණ, වනයෙහිම හැසිරෙන්නෙක් වීමි. (සහල්) පතක බත්ද ගෙන කර්‍මාන්තයට ගියෙමි.
’’එහිදී සියල්ල තෙමේම අවබෝධ කරගත්තාවූ, පස්මරුන් දිනූ, සම්බුදුරජුන් දුටිමි. වනයෙහි පිඬු පිණිස නික්මෙන්නාවූ (උන්වහන්සේ) දැක සිත පැහැදවීමි.
’’අනුන්ගේ බැල මෙහෙ කිරීමෙහි යෙදුනාවූ මට පිණක්ද නැත. (දැන්) මේ (සහල්) පතක බත්ද ඇත. මම බුදුරජුන් වළඳවන්නෙමි.
’’එකල්හි මම (ඒ සහල්) පතක බත ගෙන බුදුරජුන්හට දුනිමි. මා බලා සිටියදීම තථාගතයන් වහන්සේ (එය) වැළÃ සේක.
’’මම මැනවින් කරණ ලද එම කර්‍මය හා චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙන මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
’’මම සතිස් වරක් ශක්‍ර දේවේන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරවීමි. තෙතිස් වරක් සක්විති රජ වීමි.
’’(කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. සුව ඇත්තේ, යශස් ඇත්තේද වෙමි. (සහල්) පතක පමණ බත් දන්දීමෙහි මේ විපාකයයි.
’’කුදු මහත් භවයෙහි සැරිසරමින් අපමණ ධනය ලබමි. මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවක් නැත. පතක පමණ බත් දන් දීමෙහි මේ විපාකයයි.
’’මට ගඟ සැඩ පහරක් මෙන් භෝග සම්පත්තීහු නිපදෙත්. පමණ කරනට නොහැක්කෙමි. (සහල්) පතක පමණ දන් දීමෙහි මේ විපාකයයි.
’’මෙය කව, මෙය අනුභව කරව, මෙම ශයනයෙහි සයනය කරව’’ (යි කියන) එයින් මම සුඛිත වෙමි. (සහල්) පතක පමණ බත් දන්දීමෙහි මේ විපාකයයි.
’’මින් සිව් අනූවන කපෙහි වු එකල්හි යම් දනක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (සහල්) පතක පමණ බත් දන් දීමෙහි මේ විපාකයයි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පත්‍ථොදන දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පත්ථොදනදායකත්ථෙරස්සාපදානං නවමං.