ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
42. භද්දාලි වග්ග
10. මඤ්චදායක ථෙරාපදානය
’’කාරුණීකවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් පිරනිවි කල්හි දෙවි මිනිසුන් සත්කාර කරන ලද (උන්වහන්සේගේ) සසුන පැතිරී යන කල්හි,
’’මම එහි දික්සඟලා පුටු හා අනිකුත් පුටු කරන්නාවූ සැඩොලෙක් වීමි. එම කර්‍මාන්තයෙන් ජීවත් වෙමි. එයින්ම අඹු(දරු)වන්ද පෝෂණය කරමි.
’’මම පහන්වූයේ, සියතින්ම දික්සඟලා පුටුවක් මැනවින් කොට (තෙමේම) භික්‍ෂු සංඝයාට දුනිමි.
’’මම මැනවින් කරණ ලද එම කර්‍මයද, චිත්ත ප්‍රණිධීන්ද කරණකොටගෙන මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
’’දෙව්ලොව ගියේ තිදස්පුරයෙහි සතුටුවෙමි. කැමති පරිදි මාහැඟි සයනයෝ නිපදිත්.
’’මම පණස් වරක් දේවේන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරවීමි. අසූවරක් සක්විති රජ වීමි.
’’(කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. සුඛිතවූයේ, යශස් ඇත්තේද වෙමි. මඤචදානයාගේ මේ විපාකයයි.
’’ඉදින් දෙව්ලොවින් ව්‍යුතව මිනිසත් බවට එම් නම් මට මාහැඟි සයනයෝ තෙමේම පහළවෙත්.
’’මේ මාගේ පශ්චිම භවයයි. මේ අන්තිම භවය පවතී. අද පවා සයනය කරණ කල්හි සයනයත් (කර්‍ම බලයත්) එළඹ සිටී.
’’මින් සිව් අනූවන කපෙහි වු එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මඤ්ච දානයාගේ මේ විපාකයයි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදෙන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
මඤ්චදායකත්ථෙරස්සාපදානං දසමං.
භද්දාලිවග්ගො බාචත්තාලීසමො.