ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

43. සකිංසම්මජ්ජක වග්ග

1. සකිංසම්මජ්ජක ථෙරාපදානය

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

’’විපස්සී බුදුරජුන්ගේ උතුම්වූ පාටලී (පලොල්) බෝධි වෘක්‍ෂ රාජයා දැක එහි සිත පැහැදවීමි.

’’එකෙණෙහි මම මුස්න ගෙන (බෝ) මළුව හැමැද්දෙමි. හැමද, ඒ (පළොල්) පාටලී බෝධියට වැන්දෙමි.

’’(මම) එහි සිත පහදවා හිසෙහි ඇඳිලි බැඳ ඒ බෝධියට වඳිමින් (ගෞරවයෙන් නැමුනේ (ඉවත්ව) ගියෙමි.

’’(මම) උතුම් බෝධිය ගැන සිතමින් අඩිපාරකින් යමි. (එහිදී) මහත් බල ඇති ඝෝර ස්වරූප ඇති පිඹුරෙක් මා පෙළීය.

’’මරණාසන්නයෙහි මා විසින් කරණ ලද (බෝ්ධි පූජා) කර්‍මය (එහි) විපාකයෙන් මා සතුටු කරවීය. (පිඹුරා) මාගේ ශරීරය ගිලී. මම දෙව්ලොව සිත් අලවා වසමි.

’’මාගේ සිත හැම කල්හි නිශ්චලය. ශෝක ශූලයක් හෙවත් ශෝකයෙන් ඇතිවන පීඩා -වක් ගැන නොදනිමි. (එසේම) මාගේ චිත්ත සන්තාපයක්ද නොදනිමි.

’’කුෂ්ටය, ගණ්ඩ (ගෙඩි)ය, කිලාස (කැසිලි)ය, අපස්මාර (මීමැස්මොර)ය, විතච්ඡරිකා (සම ගැලවී යන කුෂ්ට)ය, දද්දු (දද)ය, කණ්ඩු (කැසුම්)ය යන මේ රෝගයන් මට නැත. මේ හැමදීමේ විපාකයයි.

’’ශෝකයද, පරිදේව (වැළපීම්)ද මාගේ හෘදයෙහි (සිතෙහි) නැත. භ්‍රාන්ත නොවූ (තැති නොගත්) ඎජුවූ සිත ඇත්තේ වේ. මෙය හැමදීමේ විපාකයයි.

’’සමාධීන්හි නොඇලුනෙමි. සිත ප්‍රකට (පැහැදිලි) වේ. යම් යම් සමාධියක් කැමැත්තේ නම්, ඒ ඒ සමාධිය මට සමෘද්‍ධ වේ.

’’ඇලිය යුතු දෙයෙහි නොඇලෙමි. යලි, ෙව්ෂ කටයුතු දැයෙහි මුලා නොවෙමි. මෙය හැමදීමෙහි විපාකයයි.

’’මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. හැමදීමෙහි මේ විපාකයයි.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සකිංසම්මජ්ජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සකිංසම්මජ්ජකත්ථෙරස්සාපදානං පඨමං.