ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

43. සකිංසම්මජ්ජක වග්ග

2. එකදුස්සදායක ථෙරාපදානය

’’(මම) හංසවතී නගරයෙහි තෘණාහරකයෙක් (තණ විකුණා ජීවත් වන්නෙක්) වීමි. තෘණ ගෙනවුත් විකිණීමෙන් ජීවත් වෙමි. එයින් අඹු දරුවන් පෝෂණය කරමි.

’’සර්‍වධර්‍මයන්ගේ පරතෙරට ගිය, ලෝකනායකවූ පදුමුත්තර නම් බුදුරජතෙම මෝහාන්ධකාරය නසා (ලොව) පහළවිය.

’’එකෙණෙහි (මම) ස්වකීය ගෘහයෙහි හිඳ මෙසේ සිතීමි. බුදුරජතෙම ලොව පහළවිය. දෙය්‍ය ධර්‍මයක් (දිය යුතු දෙයක්) නැත.

’’මේ මාගේ එකම සාටක (වස්ත්‍ර)යයි. මට (අනික්) දෙන කෙනෙක්ද වැත. නිරය ස්පර්‍ශය (නිරයෙහි දැමීම) දුකය. දක්‍ෂිණාවක් (දානමය පුණ්‍ය බීජයක්) රෝපණය කරන්නෙමි’’ යි (කියායි.)

’’මම මෙසේ සිතා සිත පැහැදවීමි. මම (ඒ) එකම වස්ත්‍රය ගෙන බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.

’’එකම මස්ත්‍රය දී අත්පොළසන් පැවැත්වීමි. ඉදින් මහාමුනීන් වහන්ස, වීරයන් වහන්ස, ඔබ බුදුවෙහි නම් මා (සසර සයුරින්) එතර කරනු මැනවි.

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර බුදුරජතෙමේ මාගේ දානය පසසන්නේ මට අනුමෝදනා කළ සේක.

’’මෙම එකම වස්ත්‍ර දානය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි (ඔබ) දුගතියකට නොයෙහිය.

’’සතිස් වරක් දෙවෙන්ද්‍රව දිව්‍ය රාජයය කරන්නෙහිය. තෙතිස් වරක් සක්විති රජ වන්නෙහිය.

’’(කරවනු ලබන) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නොහැකිය. ඔබ දෙව්ලොව හෝ, මිනිස් ලොව හෝ, භවයෙහි සැරිසරන්නේ,

’’රූමත්වූයේ, ගුණවත්වූයේ, අනුන් විසින් යටත් කළ නොහැකි දේහයක් ඇත්තේ, කැමති පරිදි නොකැළඹිය හැකි අපමණවූ වස්ත්‍ර ලබන්නෙහිය.

’’ප්‍රාඥවූ පදුමුත්තර නම්වූ බුදුරජතෙම මෙය වදාරා අහසෙහි (යන) හස් රජෙකු මෙන් අහසට නැංගාහ.

’’දිව්‍යවූ, මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම්ද, මාගේ භොග සම්පත්තියෙහි අඩු බවක් නැත. එකම වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.

’’පියවරක් පියවරක් පාසා මට වස්ත්‍ර උපදී. වස්ත්‍ර පිට සිටිමි. මාගේ (හිස) මතුයෙහි උඩු වියනකි.

’’මම අද කැමති වන්නේ නම් සක්වල ගල පටන්කොට වනයන් සහිතවූ පර්‍වතයන් සහිතව ඒ හැමතැන වස්ත්‍රයන්ගෙන් වසන්නෙමි.

’’එම එකම වස්ත්‍ර දානය කරණකොටගෙන කුදු මහත් භවයෙහි සැරිසරන්නේ ස්වර්‍ණ වර්‍ණව සැරිසරමි.

’’එකම වස්ත්‍ර දානයාගේ විපාකය කිසිතන්හි ක්‍ෂයට නොපැමිණියේය. මේ මාගේ අන්තිම ජාතියයි. මෙහිදීද මට ( එය ) විපාක දෙයි.

මින් ලක්‍ෂයක් වන කපෙහිවූ එකල්හි යම් වස්ත්‍රයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. එකම වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකදුස්සදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

එකදුස්සදායකත්ථෙරස්සාපදානං දුතියං.