ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
43. සකිංසම්මජ්ජක වග්ග
3. එකාසනදායක ථෙරාපදානය
’’හිමවතට නුදුරෙහි ගොසිත නම් පර්‍වතයක් විය. මට (එහි) අසපුවක් කරන ලදී. පන්සැලක්ද සාදන ලදී.
’’එකල්හි (මම) නම්න් ’’නාරද’’ නම් වෙමි. (ලෝවැස්සෝ) මා කස්සපයයිද දනිති. නිර්‍වාණ මාර්‍ගය සොයමින් ගොසිත පර්‍වතයෙහි වසමි.
’’සියළු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර බුදුරජතෙමේ විවේක සුව කැමැත්තේ අහසින් එතැනට වැඩි සේක.
’’වන කෙළවරෙහි වඩින්නාවූ, මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේගේ රශ්මිය දැක, ලී ඇඳක් පණවා අඳුන් දිවි සම්ද ඇතිරීමි.
’’අසුන පනවා, හිසෙහි ඇඳිලි බැඳ, සොම්නස දන්වා, මෙම වචනය කීමි.
’’මහා වීරයන් වහන්ස, (ඔබ) රෝගීනට ප්‍රතීකාර කරන ශල්‍ය වෛද්‍යවරයෙක් වූයෙහිය. (ලෝක) නායකයන් වහන්ස, රෝගයෙන් ආතුරවූ මට බෙහෙත් දෙනු මැනව.
’’බුද්‍ධ ශ්‍රෙෂ්ඨයන් වහන්ස, මුනීන් වහන්ස, නිවන් කැමැත්තාවූ යමෙක් තුමූ ඔබ වහන්සේද දකිත්ද, ඒකාන්තයෙන් (ඔවුහු) අර්ත්‍ථ සිද්‍ධියට පැමිණෙත්. මොවුන්ගේ භවය දැදුරුවේ. (අවසන්වේ.)
’’මම ස්වයංපතිත (ඉබේ ගසින් වැටුනු) ඵල අනුභව කරන්නෙක්මි. ඔබ වහන්සේට පිදිය යුතු දෙයක් මට නැත. මාගේ මේ අසුන ඇත. ලී ඇඳෙහි (මැස්සෙහි) වැඩ හිඳිනු මැනව.
’’භාග්‍යවතුන් වහන්සේ නිර්භීතවූ සිංහ රාජයෙකු මෙන් එහි වැඩහුන් සේක. මෙතෙක් කල් ගෙවා මෙම වචනය වදාළ සේක.
’’විශ්වාසය ඇත්තේ වව. බිය නොවෙව. තා විසින් ජ්‍යොතිරස මැණික ලබන ලදී. තා විසින් යමක් පතන ලද නම් ඒ සියල්ල අනාගතයෙහි සම්පූර්‍ණ වන්නේය.
’’නිරුත්තරවූ පුණ්‍ය ක්‍ෂෙත්‍රයෙහි තා විසින් කරන ලද පුණ්‍ය කර්‍මය හිස් නොවේ. යම් අදහසක සිත පිහිටුවන ලද නම් ඒ අදහස තමා (සසර සයුරින්) ගොඩලන්නට සමත් වන්නේය.
’’මෙම ආසන දානය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, (ඔබ) කල්ප ලක්‍ෂයක් මුලුල්ලෙහි දුගතියකට නොයෙහිය.
’’පණස් වරක් දෙවෙන්‍ද්‍රව දිව්‍ය රාජ්‍යය කරන්නේය. අසූ වරක් සක්විති රජ වන්නෙහිය.
’’(කරවනු ලබන්නාවූ) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකිය. හැම තන්හි සුව ඇත්තේව සසරෙහි සැරිසරන්නෙහිය. (කියායි.)
’’පදුමුත්තර නම්වූ බුදුරජ තෙම මෙම වචනය කියා ආකාශයෙහි යන හස් රජෙකු මෙන් අහසට නැංගාහ.
’’හස්තියානය, අශ්වයානය, රථ සහිතවූ සන්දමානිකය යන මේ සියල්ල ලබමි. ඒකාසන දානයාගේ මේ විපාකයයි.
’’යම් කලෙක්හි වනයට පිවිසීද, අසුනක් කැමති නම් මාගේ ඒ අදහස් දැන, පර්‍ය්‍යඞ්කයක් එළඹ සිටී.
’’යම් කලෙක්හි ජල මධ්‍යයට ගියේද, අසුනක් කැමති වෙම් නම්, මාගේ අදහස දැන පළඟක් එළඹ සිටී.
’’දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදීම්ද, ඒ සියළු කල්හි සියක් දහසක් පර්‍ය්‍යඞ්කයෝ මා පිරිවරත්.
’’දිව්‍ය මනුෂය දෙගතියෙහි සැරිසරමි. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ යන දෙකුලයෙහිම උපදිමි.
’’නිරුත්තරවූ පුණ්‍ය ක්‍ෂෙත්‍රයෙහි එක් අසුනක් පුදා දහම් පළඟ ගෙන, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’මින් සියක් දහස්වන කපෙහි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඒකාසන දානයාගේ මේ විපාකයයි.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකාසනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
එකාසනදායකත්ථෙරස්සාපදානං තතියං.