ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
43. සකිංසම්මජ්ජක වග්ග
5. කොරණ්ඩ පුප්ඵිය ථෙරාපදානය
’’පෙර මම වන කාර්මිකයෙක් (වනයෙහි කටයුතු කරන්නෙක්) වීමි. පිය මුතුන් පරපුරෙහි සිටම සිව්පාවුන් මැරීමෙන් ජීවත් වෙමි. මට පිනක් නැත.
’’මාගේ අසපුව හාත්පස (තැනකදී) පසැස් ඇති, ලොකාග්‍රනායකවූ, තිස්ස බුදුරජ තෙමේ පදත්‍රය (අනිත්‍ය - දුඃඛ - අනාත්ම) ලෝකානුකම්පාවෙන් දැක්වූහ.
’’තිස්ස නම්වූ බුදුරජුන්ගේ තුබූ පියවර දැක සතුටුවූයේ සතුටු සිතින් පියවර සටහනෙහි සිත පැහැදවීමි.
’’මම පිපීගිය කරඬු ගසක් දැක (එම මල්) කිණිති සහිතව ගෙන, ශ්‍රේෂ්ට ශ්‍රීපාදයට පිදීමි.
’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
’’දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම්ද, මම කරඬු මල් පැහැයෙන් පැහැ ඇත්තේව, ප්‍රභා සහිත වෙමි.
’’මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පද පූජාවෙහි මේ විපාකයයි.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොරණ්ඩ පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කොරණ්ඩපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.