ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
43. සකිංසම්මජ්ජක වග්ග
6. සතමණ්ඩදායක ථෙරාපදානය
’’(සිව් සස් දහම් පිළිබඳව) මැනවින් සිතන ලද, ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, මහ වනයට පිවිසියාවූ, වාතාබාධයකින් පෙළුනාවූ බුදුරජුන් දැක, සිත පහදවා ඉතා පිරිසිදු ගිතෙල් (ටිකක්) පිළිගැන්වීමි.
’’(මෙම පුණ්‍ය කර්‍මය) කරන ලද බැවින්, රැස් කරන ලද බැවින්, මේ භාගීරථී ගඟද, සිව් මහ සමුදුරද මට ගිතෙල් සපයති.
’’මේ ඝොරවූ, අප්‍රමාණවූ, අසංඛෙය්‍යවූ පෘථිවිය මාගේ අදහස දැන විසිතුරු බවට පත්වේ.
’’සිව් මහ දිවයිනෙහිවූ මේ සියළු වෘක්‍ෂ සමූහයෝ (වෙත්ද), ඒ සියල්ල මාගේ අදහස් දැන කල්ප වෘක්‍ෂයෝ වෙත්.
’’මම දේවෙන්‍ද්‍රව පණස් වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. එක් පණස් වරක් සක්විති රජ වීමි. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.
’’මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් (ගිතෙල්) දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිරිසිදු ගිතෙල් දනෙහි මේ විපාකයයි.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සතමණ්ඩදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ඝතමණ්ඩදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.