ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

43. සකිංසම්මජ්ජක වග්ග

7. සතධම්ම සවණිය ථෙරාපදානය

’’සියළු ධර්‍මයන්හි පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජතෙමේ සිව්සස් පවසමින් බොහෝදෙනා (සසර සයුරින්) එතර කරවූහ.

’’එසමයෙහි මම උග්‍ර තපස් ඇති ජටාධරයෙක් (තවුසෙක්) වීමි. එකල්හි වැහැරි සිවුරු කම්පනය කරවමින් අහසෙහි යමි.

’’මම බද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ (හිසට) ඉහලින් යන්නට සමත් නොවෙමි. මම ශෛල පර්‍වතයක හැපුණු පක්‍ෂියෙකු මෙන් ගමන් කිරීම නොලබමි.

’’(පෙර) දියෙහි මෙන් කිමිදී මෙසේ අහසෙහි යමි. මාගේ මේ ඉරියාපථ විකෝපණය (ඉරියව් වැරදීම) පෙර නොවූ විරූය.

’’ඒකාන්තයෙන් මෙය පරීක්‍ෂා කර බලන්නෙමි. මම අර්ත්‍ථයක් (වැඩක්) ලබන්නෙම් නම් (සිදුකර ගන්නෙම් නම්) ඉතා යෙහෙකැයි (සිතා) අහසින් බසින්නේ, බුදු රජුන්ගේ ශබ්දය ඇසීමි.

’’එකල්හි සිත් ඇලවියයුතු, ඇසියයුතු (කණට මිහිරි)වූ, මනොඥවූ ස්වරයෙන් (හඬින්) අනිත්‍යතාව දෙසන්නාවූ උන්වහන්සේගේ ඒ වචනයම ඉගෙන ගතිමි.

’’මම අනිත්‍ය සංඥාව ඉගෙන මාගේ අසපුවට ගියෙමි. එහි ඇතිතාක් වසා කළුරිය කළේ වෙමි.

’’අන්තිම අවස්ථාව පවත්නා කල්හි (මරණාසන්නයෙහි) (එම) ධර්‍මශ්‍රවණමය පිණ සිහිකෙළෙමි. මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

’’මම කල්ප තිස් දහසක් දෙව්ලොව සිත් අලවා විසීමි. එක් පණස් වරත් දිව්‍ය රාජ්‍යයද කරවීමි.

’’මම එක්සිය වරක් සක්විති රජ වීමි. (කරවන ලද) ප්‍රදේශ රාජ්‍යය මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නොහැකිය.

’’මම කුදු මහත් භවයෙහි සුඛිතවූයේ, ස්වකීය පුණ්‍ය (ඵල)ය අනුභව කෙළෙමි. (එසේම) කුදු මහත් භවයෙහි සැරිසරමින් එම සර්‍වඥ ස්වර සංඥාව සිහි කරමි. අව්‍යුත පද නම්වූ නිර්‍වාණය කෙළවර ප්‍රතිවේධ නොකෙළෙමි.

’’පිතෘ ගෘහයෙහි වැඩහිඳ (වඩන ලද ශ්‍රද්‍ධා වීර්‍ය්‍ය ආදී) ඉන්‍ද්‍රියයන් ඇති බැවින් භාවින්‍ද්‍රියවූ ශ්‍රමණ තෙම (බුදුරජතෙම) (සිව්සස්) දක්වමින් දහම් දෙසන්නේ, සංස්කාරයන්ගේ අනිත්‍යබව වදාළ සේක. (කෙසේදයත්?)

’’ඒකාන්තයෙන් සියළු සංස්කාරයෝ අනිත්‍යයහ. උත්පත්තිය හා විනාශය ස්වභාවකොට ඇත්තාහ. ඇතිව නැතිවෙත්. එම සංස්කාරයන් හෝ සංසිඳීම සුවයකියි (කියායි.)

’’ගාථාව ඇසීම හා සමගම පූර්‍ව (ධර්‍මශ්‍රවණ) සංඥාව සිහි කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.

’’උත්පත්තියෙන් සත් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. බුදුරජතෙම (මා) උපසම්පදා කරවීය. ධර්‍මශ්‍රවණයෙහි මේ විපාකයයි.

’’මින් සියක් දහස්වන කපෙහිවූ එකල්හි යම් ධර්‍මයක් ඇසූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධර්‍මශ්‍රවණයාගේ මේ විපාකයයි.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සතධම්ම සවණිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

එකධම්මස්සවනියත්ථෙරස්සාපදානං සත්තමං.