ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

43. සකිංසම්මජ්ජක වග්ග

8. සුචින්තක ථෙරාපදානය

’’එකල්හි (මම) හංසවතී නගරයෙහි ගොවියෙක් වීමි. කෘෂිකර්‍මයෙන් ජීවත්වෙමි. එයින් (අඹු) දරුවන් පොෂණය කරමි.

’’එකල්හි කෙත මැනවින් සමෘද්‍ධය. මාගේ ධාන්‍යද ඵල දරන ලදී. සශ්‍ය පැසෙන කල පැමිණි කල්හි මම මෙසේ සිතීමි.

’’යම්බඳුවූ මම ඉදින් අග්‍ර සශ්‍යය සඞ්ඝයාට නොදී වළඳන්නේ නම් එකල්හි ගුණ අගුණ (හොඳ නරක) දන්නාවූ මා වැනියනට එය නුසුදුසුය. නොහොබනේය.

’’මේ දෙතිස් මහා පුරිස් ලකුණින් හෙබි, අසමසම බුදුරජ තෙමේය. නිරුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රවූ සඞ්ඝතෙම ඉන් (එම බුදුුන් කෙරෙන්) ප්‍රභාවිතය.

’’මම පළමුව සංඝයා කෙරෙහි නව සශ්‍ය දානය දෙමි. මම මෙසේ සිතා සතුටුවූයේ, පිනාගිය සිත් ඇත්තේද (වීමි.)

’’කෙතින් ධාන්‍ය ගෙනවුත් බුදුරජුන් වෙත එළඹියෙමි. නරශ්‍රේෂ්ඨවූ, ලොකජ්‍යෙෂ්ඨවූ සම්බුදු රජුන් වෙත එළඹ ශාස්තෘන් වහන්සේගේ සිරිපා වැඳ, මෙම වචනය කීමි.

’’නව සශ්‍යයද ඇතිවිය. මුනීන් වහන්ස, දක්‍ෂිණාර්‍හයන් වහන්සේද ඔබ වෙහිය. පසැස් ඇත්තාණන් වහන්ස, අනුකම්පාව උපදවා (මෙය) ඉවසා වදාළ මැනව.’’

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර බුදුරජතෙමේ මාගේ අදහස් දැන මෙම වචනය කීහ.

’’(සුප්‍රතිපන්නාදී) ප්‍රතිපන්නයෝ සිව් දෙනෙකි. (සෝවාන් ආදී සිව්) ඵලයෙහි සිටියෝ සිව් දෙනෙකි. මේ ප්‍රඥාශීලයන්ගෙන් යුත් ඎජුභූත සංඝයායි.

’’පින් කැමැත්තාවූ භව සම්පත් දෙන පින්කම් හෙවත් ඔපදික පුණ්‍ය කර්‍ම කරන්නාවූ දන් දෙන මිනිසුන්හට සංඝයා කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වේ.

’’එම සංඝයා කෙරෙහි පිදියයුතුවූ නව සශ්‍යද, එසේම එයින් අධික තවත් දැයද, සඟුන් උදෙසා භික්‍ෂූන් සිය ගෙදරට වැඩමවා (තමා විසින්) ගෘහයෙහි යමක් පිළියෙල කරන ලද නම් එය ඔබ භික්‍ෂු සංඝයාට දෙනු මැනව.

’’මම සඟුන් උදෙසා භික්‍ෂූන් (සිය) ගෙදොරට වඩමවා මා විසින් යමක් ගෘහයෙහි පිළියෙල කරන ලද නම්, (එය) භික්‍ෂු සංඝයාට දුනිමි.

’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

’’එහි මට කරන (පහළවූ) විමන ස්වර්‍ණ වර්‍ණය. ප්‍රභා සහිතය. සැට යොදුන් උසය. තිස් යොදුන් පුළුලුය.

එකුන් විසිවෙනි බණවරයි.

මාගේ භවනය (බොහෝ දෙනාගෙන්) ආකීර්‍ණය. දිව්‍ය ස්ත්‍රී සමූහයාගෙන් ගැවසී ගත්තේය. මම (එම) තව්තිසාවෙහි අනුභවකොට, පානයකොට වසමි.

’’මම තුන්සියවරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි. (කරවන ලද) ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.

’’කුදු මහත් භවයෙහි සැරිසරන්නේ, අපමණ ධනය ලබමි. මාගේ භෝගයෙහි අඩු බවක් නැත. නව සශ්‍ය දානයාගේ මේ විපාකයයි.

’’හස්තියානය, අශ්වයානය, සිවිකාය, සන්‍දමානික නම් යාන විශෙෂය යන මේ සිල්ල ලබමි. නව සශ්‍ය දානයාගේ මේ විපාකයයි.

’’අභිනව වස්ත්‍රද, අභිනව ඵලද, අභිනවවූ අග්‍ර රස භෝජනද යන මේ සියල්ල ලබමි. නව සශ්‍ය දානයාගේ මේ විපාකයයි.

’’කොසෙය්‍යය, කම්බලය, ඛොමි (කොමු)ය, කප්පාසික (කපු)ය යන මේ සියළු වස්ත්‍ර විශේෂ ලබමි. නව සශ්‍ය දානයාගේ මේ විපාකයයි.

’’දාසි සමූහයාද, දාස සමූහයාද, අබරණින් සරසන ලද ස්ත්‍රීහුද යන මේ සියල්ල ලබමි. නව සශ්‍ය දානයාගේ මේ විපාකයයි.

’’මට ශීතය හෝ, ඌෂ්ණය හෝ, දැනීමක් හෝ නැත. යලි, මාගේ හෘදයෙහි චෛතසික එකෙකුදු නැත.

’’මෙය කව, අනුභව කරව, මෙම ශයනයෙහි සයනය කරව යන මේ (මිහිරි වචන) සියල්ලම ලබමි. නව සශ්‍ය දානයාගේ මේ විපාකයයි.

’’මේ මාගේ (භවයෙහි) අවසානයයි. දැන් අන්තිම භවය පවතී. අද පවා මාගේ (එදා දුන්) දෙය්‍ය ධර්‍මයෙහි ඵල විපාකය හැම කල්හි මා සතුටු කරයි.

’’අති උතුම් සඞ්ඝ සමූහයා කෙරෙහි නව සශ්‍ය (දානය) දී මාගේ ඒ කර්‍මයට සුදුසුවූ අට අනුසයක් අනුභව කරමි.

’’මහත් භෝග සම්පත් ඇත්තේ, යශස් ඇත්තේ, වර්‍ණවත් වූයේ වෙමි. හැම කල්හි මහත්වූ පක්‍ෂ (පිරිවර) ඇත්තේද, නොබෙදුනු පිරිස ඇත්තේද වෙමි.

’’පෘථිවිය ඇසුරු කළාවූ යමෙක් වෙත් නම් ඒ සියල්ලෝ මට ගරු බුහුමන් කෙරෙත්. යම් කිසි දෙය්‍ය ධර්‍මයෙක් වෙත් නම් එයද මම පළමු පළමුව ලබමි.

’’බික් සඟන මැද හෝ, බුදුරජුන් හමුයෙහි හෝ දායකයෝ සියල්ලන් ඉක්මවා මටම දෙති.

’’උතුම්වූ සංඝ සමූහයා කෙරෙහි පළමුකොට නව ශස්‍ය දානය දී මම අනුසස් ලබමි. නව ශස්‍ය දානයාගේ මේ විපාකයයි.

’’මින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. නව ශස්‍ය දානයාගේ මේ විපාකයයි.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් යාගුදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සුචින්තිතත්ථෙරස්සාපදානං අට්ඨමං.