ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

44. එක වීහාරීය වග්ග

7. අම්බාටක දායක ථෙරාපදානය

’’මහ වනයෙහිදී සියල්ල තෙමේම දත්, පස් මරුන් දිනූ බුදුරජුන් දැක මම ඇඹරැල්ල (ගෙඩියක්) ගෙන (එම)බුදුරජුන්හට දුනිමි.

’’මින් එක් තිස්වන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බාටක දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

අම්බාටකදායකත්ථෙරස්සාපදානං සත්තමං.