ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

44. එක වීහාරීය වග්ග

8. හරීතකදායක ථෙරාපදානය

’’අරළු, නෙල්ලි, අඹද, ජම්බුද, ඩෙබරද, බදුළුද, බෙලිද තෙමේම හැරගෙන එමි.

’’පබ්හාර (කන්දකවූ) විවේක ස්ථානයක වැඩහුන් ධ්‍යාන කරන්නාවූ, ධ්‍යානයෙහි ඇළුනාවූ, ආබාධයකින් පෙළෙන්නාවූ (සමාන කළ හැකි) දෙවැන්නෙකු නැත්තාවූ බුදුරජුන් දැක,

’’මම අරළු ගෙඩියක් ගෙන බුදුරජුන්හට දුනිමි. බෙහෙත කළ කෙනෙහි රෝගය සන්සිඳුනේය.

’’සන්සිඳුනාවූ (කාය) දරථය (ක්ලාන්තය) ඇති බුදුරජතෙම අනුමෝදනාවක් කළ සේක. ’’මෙම බෙහෙත් දන කරණකොටගෙනද, රෝග ව්‍යපසයනය කරණකොටගෙනද,

’’දෙවිවූයේ හෝ, මිනිස්වූයේ හෝ, අන් ජාතියක උපන්නේ හෝ, ඒ සියළු තන්හි සැප ඇත්තෙක් වෙහිව තොපට ව්‍යාධියක් නොපැමිණේවා.’’

’’සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, ප්‍රාඥවූ සර්‍වඥ තෙම මෙම වචන කියා, අහසෙහි හස් රජෙකු මෙන් අහසට නැංගාහ.

’’යම් තැනක පටන් සියල්ල තෙමේම දත් බුදුරජුන්හට අරළු දුනිම්ද, (එතැන් පටන්) මෙම ජාතිය දක්වා මට ව්‍යාධියක් හට නොගත්තේය.

’’මේ මාගේ (සසරෙහි) අවසානයයි. (දැන්) අන්තිම භවය පවතී. ත්‍රීවිද්‍යාවෝ ප්‍රත්‍යක්‍ෂ කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් බෙහෙත් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බෙහෙත් දනෙහි මේ විපාකයයි.

’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් හරීතකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

හරීතකදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.