ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
45. වීභීටක වග්ග
4. භල්ලාතකදායක ථෙරාපදානය
උතුම් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ඇති, ස්වර්‍ණ වර්‍ණවූ, වනය ඉහළින් ගමන් කරන්නාවූ, පිපුණු සල් රුකක් වැනිවූ (බුදුරජුන් දුටිමි.)
’’මම තණ ඇතිරියක් පණවා බුද්ධශ්‍රේෂඨයන් වහන්සේට ආයාචනය කෙළෙමි. (කෙසේද යත්?) බුදුරජතෙම අනුකම්පා කෙරෙත්වා, භික්‍ෂාව දෙන්නට කැමැත්තෙමියි කියායි.
’’ලොවට අනුකම්පා කරන්නාවූ කාරුණීකවූ, මහත් යසස් ඇති අත්‍ථදස්සී බුදුරජතෙම මාගේ අදහස දැන මාගේ අසපුවෙහි බැස්සාහ.
’’බුදුරජතෙම අහසින් බැස පන් ඇතිරිලියෙහි වැඩහුන් සේක. මම බදුළු ඵල ගෙන ගොස් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
’’එකල්හි සර්‍වඥතෙම මා බලා සිටියදී එය වැළÃ සේක. එහි සිත පහදවා එකල්හි(ම) බුදුරජුන් වැන්දෙමි.
’’අටළොස්සියවන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භල්ලාතකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
භල්ලාතදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.