ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

45. වීභීටක වග්ග

7. සීහාසනික ථෙරාපදානය

’’මම සව්සත්නට හිත කැමැත්තාවූ පදුමුත්තර බුදුරජුන්හට පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ සිහසුනක් දුනිමි.

’’මම දෙව්ලොව හෝ, මිනිස් ලොව හෝ, ඒ යම් තැනක වෙසෙම් නම් මහත්වූ විමානයක් ලැබීමි. සිහසුන් දනෙහි මේ විපාකයයි.

’’ස්වර්‍ණමයවූද, රජතමයවූද, පද්මරාග මාණික්‍යවූද, මිණිමය (මිණියෙන් කරන ලද)වූද බොහෝ පර්‍ය්‍යඞ්කයෝ මට හැම කල්හි පහළ වෙත්.

’’පදුමුත්තර බුදුරජුගේ බෝධියට අසුනක් කොට උසස් කුලයෙහි උපදිමි. ධර්‍මයාගේ යහපත් ස්වභාව ඇති බව ආශ්චර්‍ය්‍යයකි.

’’මම මින් සියක් දහස්වන කපෙහි සිහසුනක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සිහසුන් දනෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසනික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

සීහාසනිකත්ථෙරස්සාපදානං සත්තමං.