ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
45. වීභීටක වග්ග
8. පාදපිඨිය ථෙරාපදානය
’’අග්‍රවූ, කාරුණීකවූ, මොනෙය්‍ය ගුණ ඇති, මහත් යසස් ඇති ඒ සුමේධ නම් සර්‍වඥතෙමේ බොහෝ සත්ත්‍වයන් (සසර සයුරින්) තරණය කරවා පිරිනිවන් පෑහ.
’’සුමේධ බුදුරජුන්ගේ සිහසුන හාත්පස (සමීපයෙහි) පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, (මම) පාපුටුවක් කෙළෙමි.
’’සැප විපාක ඇති, සුව ගෙන දෙන්නාවූ කුශල කර්‍මය කොට මම එම කුශල කර්‍මය හා යෙදුනේ තව්තිසා දෙව්ලොවට ගියෙමි.
’’පුණ්‍ය කර්‍මය හා යෙදුනාවූ එහි (දෙව්ලොව) වසන්නාවූ මාගේ පියවර ඔසවන කල්හි ස්වර්‍ණමය පාද පිඨයෝ පහළ වෙත්.
’’යමෙක් බුදුරජුන්ගේ සමීපයෙහි සිට දහම් ඇසීමට ලබතොත් ඔවුන්හට එය ලාභයකි. අතිශය උසස් ලාභයකි. පිරිනිවි කල්හිද (උන්වහන්සේ කෙරෙහි) පින්කම්කොට මහත්වූ සැප ලබත්.
’’මා විසිනිදු උන්වහන්සේ කෙරෙහි පුණ්‍ය කර්‍මයක් මනාකොට කරන ලදී. (එය) මැනවින් යොදන ලද වෙළඳාමක් මෙනි. මම පා පුටුවක් කොට රන් පුටුවක් ලබමි.
’’මම කිසියම් හේතුවකින් යම් යම් දිසාවකට යම් නම් රන් පුටුවලම පය තබමි. පූර්‍ණ කර්‍මයාගේ මේ විපාකයයි.
’’තිස් දහස් කපකින් පෙරවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පාද පීඨ දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාදපීඨිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාදපීඨියත්ථෙරස්සාපදානං අට්ඨමං.