අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

3. තතිය පණ්ණාසකය

(14) 4. සාධු වර්‍ගය

11. සුඛ දුක්ඛ විපාක සූත්‍රය

’’මහණෙනි, තොපට සැප විපාක ඇති ධර්මයද, දුක් විපාක ඇති ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, දුක්ඛ විපාක ඇති ධර්මය කෙසේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය දුක් විපාක ඇති ධර්මයයි කියනු ලැබේ.

’’මහණෙනි, සුව විපාක ඇති ධර්මය කෙසේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සැප විපාක ඇති ධර්මයයි කියනු ලැබේ.’’

සාධු වර්ගය නිමි.