අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
4. චතුත්ථ පණ්ණාසකය
(17) 2. යමක වර්ගය
10. චුන්‍දසොචෙය්‍ය සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාවානුවර චුන්ද නම් කර්මාර (ලෝකරු) පුත්‍රයාගේ අඹ වනයෙහි වාසය කරණ සේක. ඉක්බිති චුන්ද කර්මාර පුත්‍ර තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි චුන්ද කර්මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ, ’’චුන්දය, ඔබ කවරෙකුගේ පිරිසිදුකම රුචි කෙරෙහිදැ’’ යි ඇසූ සේක. ’’ස්වාමීනි, පසු බිම්හි සිටින (ද්විජව උපන්) කෙණ්ඩි දරණ, සෙවෙල් මල්දම් ඇති, ගිනි දෙවියා පුදන, දියෙහි ගිලෙන බමුණෝ පිරිසිදුකම් පණවත්ද, මම ඒ පිරිසිදුකම රුචිකරමි’’ යි කීයේය.
’’චුන්දය, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලා ඇති, ගිනි පුදන, දියේ ගිලෙන බමුණෝ කෙසේ වනාහි පිරිසිදුකම් පණවත්දැ’’ යි ඇසූ සේක. ’’ස්වාමීනි, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලාකොට ඇති, ගිනි පුදන, දියෙහි ගැලෙන, ඒ බ්‍රාහ්මණයෝ ශ්‍රාවකයන් මෙසේ සමාදන් කරවත්.
’’එම්බා පුරුෂය, ඔබ මෙහි එව. කලින්ම සයනයෙන් නැගිටින්නේම, පෘථුවිය ස්පර්ශ කරන්නෙහිය. ඉදින් පෘථුවිය ස්පර්ශ නොකරන්නෙහි නම්, තෙත් ගොම ස්පර්ශ කරන්නෙහිය. ඉදින් තෙත් ගොම ස්පර්ශ නොකරන්නෙහි නම්, අමු තණ ස්පර්ශ කරන්නෙහිය. ඉදින් අමු තණ ස්පර්ශ නොකරන්නෙහි නම්, ගිනි පුදන්නේය. ඉදින් ගිනි නොපුදන්නේ නම්, ඇඳිලි බැඳ හිරු වඳින්නේය. ඉදින් ඇඳිලි බැඳ හිරු නොවඳින්නේ නම්, සවස් කාලය තුන්වෙනිකොට ජලයෙහි ගිලෙන්නෙහිය.’ ස්වාමීනි, මෙසේ වනාහි, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලා ඇති, ගිනි පුදන, දියෙහි ගිලෙන, බමුණෝ පිරිසිදුකම පණවත්. මම ඔවුන්ගේ පිරිසිදුකම රුචි කරමි’’ යි කීයේය.
’’චුන්දය, පසු බිම්හි සිටි, කෙණ්ඩි දරණ, සෙවෙල් මාලාකොට ඇති, ගිනි පුදන, දියේ ගිලෙන, බ්‍රාහ්මණයෝ අන් පරිද්දෙකින් පිරිසිදුකම් පණවත්. ආර්‍ය්‍ය විනයෙහි අන් පරිද්දෙකින් පිරිසිදුබව වේ.’’ - ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි පිරිසිදුබව යම් පරිද්දෙකින් වේද, එසේ ධර්ම දේශනා කරනු මැනවි.’’
’’චුන්දය, එසේ නම් අසව, යහපත්කොට මෙනෙහි කරව. කියන්නෙමි’’ යි වදාළ සේක. ’’ස්වාමීනි, එසේය’’ යි චුන්ද කර්මාර පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’චුන්දය, තුන් පරිද්දෙකින් කයේ අපිරිසිදුබව වේ. සතර පරිද්දෙකින් වචනයේ අපිරිසිදුබව වේ. තුන් පරිද්දෙකින් සිතින් අපිරිසිදුකම වේ. චුන්දය, කෙසේ කයින් ත්‍රිවිධ අපිරිසිදුබව වේද, චුන්දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සියලු සතුන් කෙරෙහි රෞද්‍රවූයේ, ලේ වැකුණු අත්ල ඇත්තේ, ගැටීමෙහි, ගැලීමෙහි ඇළුනේ, දයාවට නොපැමුණුනේ, සතුන් මරන්නේ වෙයි. ගමට අයත්වූද, වනයට අයත්වූද, අනුන්ගේ යම් වස්තුවක්, උපකරණයක් වේද, නොදෙනලද්දේ, එය සොර සිතින් ගනියිද, නුදුන් දෙය ගන්නේ වේ. මව රක්නා, පියා රක්නා, සහෝදරයා රක්නා, සහෝදරිය රක්නා, ඤාතීන් රක්නා, ධර්මය රක්නා, ස්වාමියන් ඇති, දඬුවම් නියම කළ, යටත් පිරිසෙයින් මල් වැල නමුත් පළඳවන ලද, යම් ඒ තැනැත්තියක් වේද, එබඳුවූවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ, කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේද, චුන්දය, මෙසේ වනාහි කයින් තුන් වැදෑරුම් අපිරිසිදුකම දත යුතුය.
’’ චුන්දය, කෙසේ වචනයෙන් සතර වැදෑරුම් අපිරිසිදුකම වේද, චුන්දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු කියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, ’’එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය’’ යි කියයි. හෙතෙම නොදන්නේ හෝ දනිමියි කියයි. දන්නේ හෝ නොදනිමියි කියයි. නොදක්නේ හෝ දකිමියි කියයි. දන්නේ හෝ නොදන්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු කීවා වේද,
’’පිසුණු කියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන කියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට කියන්නේ වේ. මෙසේ සමගිවූවන් බිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු දෙන්නේ, කොටස් කිරීමෙහි නියුක්තවූයේ, කොටස් කිරීමෙහි ඇලුනේ, කොටස් කරණ වචන කියන්නේ වේ.
’’ඵරුෂ වචන කියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්ධද, එබඳු වචන කියන්නේ වේ.
’’ප්‍රලාප දොඩන්නේ වේ. නොකල්හි කියන්නේ, නොවූ දේ කියන්නේ, අයහපතින් කියන්නේ, අධර්මයෙන් කියන්නේ, නොහික්මීමෙන් කියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන කියන්නේ වේ. චුන්දය, මෙසේ වනාහි වචනයේ සිවු වැදෑරුම් අපිරිසිදුබව වේ.
’’ චුන්දය, කෙසේ සිතින් තුන් වැදෑරුම් අපිරිසිදුබව වේද? චුන්දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ වේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ’මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා කරණ ලද්දේ වේද,
’’මේ සත්ත්වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා ඇත්තේ, පෙරළුනු සිත් ඇත්තේ වේද,
’’දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්රත්යක්ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්ගයට ගියාවූ, යහපත් මාර්ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් වේද, චුන්දය, මෙසේ වනාහි සිතේ ත්‍රිවිධ අපිරිසිදුකම දතයුතුයි.
’’ චුන්දය, මේ දශ අකුශල කර්ම පථයෝය. චුන්දය, යම් මේ අකුශල කර්ම පථ දහයෙන් යුක්තවූයේ, කල් ඇතුවම සයනයෙන් නැගිටින්නේ, ඉදින් පෘථිවිය අතගායිද, අපිරිසිදුම වේ. ඉදින් පෘථිවිය අතනොගෑවේද අපිරිසිදුම වේ. ඉදින් තෙත් ගොම ඇල්ලූයේද අපිරිසිදුම වේ. නිල් තෘණ ඇල්ලූවේද අපිරිසිදුම වේ. ඉදින් ගිනි පිදූයේද අපිරිසිදුම වේ. ඉදින් ගිනි නොපිදූයේද අපිරිසිදුම වේ. ඉදින් ඇඳිලි බැඳ හිරු වැන්නේද අපිරිසිදුම වේ. ඉදින් ඇඳිලි බැඳ හිරු නොවැන්දේද අපිරිසිදුම වේ. ඉදින් සවස තුන්වැනිකොට ජලයෙහි ගිලෙයිද අපිරිසිදුම වේ. ඉදින් සවස තුන්වැනිකොට ජලයෙහි නොගිලුනේද අපිරිසිදුම වේ. ඊට හේතුව කවරේද, චුන්දය, මේ දශ අකුශල කර්ම පථයෝ අපිරිසිදුම වෙත්. අපිරිසිදුබව කරන්නාහුද වෙත්. චුන්දය, මේ දශ අකුශල කර්ම පථයන්ගේ යුක්තවීම් හේතුවෙන් නිරය පෙනෙයි. තිරිසන් යෝනිය පෙනෙයි. ප්‍රේත ලෝකය පෙනෙයි. අනිකුදු යම් දුගතීහු පෙනෙත්.
’’චුන්දය, කයින් පිරිසිදුබව තුන් වැදෑරුම් වේ. වචනයෙන් පිරිසිදුබව සතර වැදෑරුම් වේ. සිතින් පිරිසිදුබව තුන් වැදෑරුම් වේ. චුන්දය, ත්‍රිවිධ කයින් පිරිසිදුබව කෙසේ වේද? චුන්දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, පාපයට බිය ඇත්තේ, දයාවට පැමිණියේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිතවත් අනුකම්පාවෙන් වාසය කරයි.
’’නුදුන් දෙය ගැනීම අත්හැර, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේ. ගමෙහි හෝ, අරණ්‍යයෙහි හෝ, අනුන්ගේ යම් තමා නොඅයත් වස්තුවක් හෝ උපකරණයක් හෝ වේද, නුදුන්, සොරකම් කළ යුතු එය නොගන්නේ වේ. කාම මිත්ථ්යාචාරය අත්හැර, කාම මිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේ. යම් ඒ මව විසින් රකින, පියා විසින් රකින, ස්ත්‍රිය, සහෝදරයා විසින්, සහෝදරිය විසින්, ඤාතීන් විසින් රකින ස්ත්‍රිය, ධර්මයා රකින ස්ත්‍රිය, ස්වාමියා ඇති ස්ත්‍රිය, දඬුවම් කළ ස්ත්‍රිය, යටත් පිරිසෙයින් මල්මාලාවකින් වෙන්කළ ස්ත්‍රිය යන එබඳු ස්ත්‍රීන් කෙරෙහි හැසිරීමට නොපැමිණියේ වේ. චුන්දය, මෙසේ වනාහි තුන් වැදෑරුම්වූ කායික පිරිසිදුකම වේ.
’’ චුන්දය, කෙසේ වචනයෙන් සතර වැදෑරුම් පිරිසිදුකම වේද, චුන්දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් බොරු නොකියන්නේ වේද, සභාවකට ගියේ හෝ, පිරිසකට ගියේ හෝ, නෑයන් මැදකට ගියේ හෝ, පිරිස් මැදකට ගියේ හෝ, රජ කුලයක් මැදට ගියේ හෝ, පමුණුවන ලද්දේ හෝ, ’’එම්බා පුරුෂය, එව, යමක් දන්නෙහි නම් එය කියන්නෙහිය’’ යි කියයි. හෙතෙම නොදන්නේ හෝ නොදනිමියි කියයි. දන්නේ හෝ දනිමියි කියයි. නොදක්නේ හෝ නොදකිමියි කියයි. දක්නේ හෝ දක්නෙමියි කියයි. මෙසේ තමන් හේතුකොටගෙන හෝ, අන්‍යයන් හේතුකොටගෙන හෝ, ආමිසාදී කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ, දැන දැන බොරු නොකියන්නේ වේද?
’’පිසුණු නොකියන්නේ වේද. මොවුන්ගේ බිඳීම පිණිස මෙයින් අසා අසවල් තැන නොකියන්නේ වේ. ඔවුන්ගේ බිඳීම පිණිස, අසවල් තැන අසා මොවුන්ට නොකියන්නේ වේ. මෙසේ සමගිවූවන් නොබිඳුවන්නේ, බිඳුනවුන්ට උදවු නොදෙන්නේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කිරීමෙහි යුක්ත නුවූයේ, කොටස් කිරීමෙහි නොඇලුනේ, කොටස් කරණ වචන නොකියන්නේ වේ.
’’ඵරුෂ වචන නොකියන්නේ වේ. යම් ඒ වචනයක් ගැට සහිතද, අනුන්ට කටුකද, අනුන් ගැටෙන්නේද, ක්‍රෝධයට කිට්ටුද, එකඟකමට විරුද්ධද, එබඳු වචන නොකියන්නේ වේ.
’’ප්‍රලාප දොඩන්නේ නොවේ. නොකල්හි නොකියන්නේ, නොවූ දේ නොකියන්නේ, අයහපතින් නොකියන්නේ, අධර්මයෙන් නොකියන්නේ, නොහික්මීමට නොකියන්නේ. සිතේ තබා නොගතයතු, නොකල්හි කරුණු රහිතව සීමාවක් නැති, අයහපත හා මිශ්‍ර වචන නොකියන්නේ වේ. චුන්දය, මෙසේ වනාහි වචනයේ සිවු වැදෑරුම් පිරිසිදුබව වේ.
’’චුන්දය, කෙසේ සිතින් තුන් වැදෑරුම් පිරිසිදුබව වේද? චුන්දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තද තෘෂ්ණා ඇත්තේ නොවේද, අනුන්ගේ යම් ඒ වස්තූපකරණයක් වේද, යම් හෙයකින් අනුන්ගේ එය, ’මට වන්නේ නම් යහපතැ’ යි එය දැඩි ලෙස ආශා නොකරණ ලද්දේ වේද,
’’මේ සත්ත්වයෝ නසිත්වා, බඳිත්වා, නැතිවෙත්වා, විනාශ වෙත්වායි නොවෙන්නාහු හෝ වෙත්වායි දූෂිතවූ චිත්ත සංකල්පනා නැත්තේ, පෙරළුනු සිත් නැත්තේ වේ.
’’දුන් දෙයෙහි විපාක නැත. පුදන ලද්දේ විපාක නැත. හෝම කරණ ලද්දේ විපාක නැත. යහපත්කොට කරණ ලද, නපුරුකොට කරණ ලද, කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්රත්යක්ෂකොට දන්වත්ද, එබඳු ලෝකයෙහි යහපත් මාර්ගයට ගියාවූ, යහපත් මාර්ගයට පැමිණි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැතැයි පෙරළුනු දැකීම් ඇති, මිත්‍ථ්‍යාදෘෂ්ටිකයෙක් නොවේද, චුන්දය, මෙසේ වනාහි සිතේ ත්‍රිවිධ පිරිසිදුකම දතයුතුයි.
’’චුන්දය, මේ දශ කුශල කර්ම පථයෙන් යුක්තවීම හේතුකොට ගෙන දෙවියෝ පෙනෙත්. මනුෂ්‍යයෝ පෙනෙත්. යම් අන්කිසි සුගතීහු පෙනෙත්. මෙසේ වදාළ කල්හි චුන්ද කර්මාර පුත්‍ර තෙම ( මෙහි 3 අඞ්ගුත්තර නිකායේ 7 නිපාතයේ 7 වර්ගයේ 13 සූත්‍රයේ 27 ඡේදය යෙදිය යුතුයි. )