අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

4. චතුත්‍ථ පණ්ණාසකය

(21) 1. කරජකාය වර්‍ගය

5. අවිසාරදුපාසිකා සූත්‍රය

’’මහණෙනි, ධර්ම දශයකින් යුත් උපාසිකාව භය සහිතව ගිහිගෙයි වසයි.

’’කවර දශයකින්ද යත්? සතුන් මරන්නේ වේ. සොරකම් කරන්නේ වේ. කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේ. බොරු කියන්නේ වේ. කේළාම් කියන්නේ වේ. ඵරුෂ වචන ඇත්තේ වේ. හිස් වචන දොඩන්නේ වේ. දැඩි ලෝබකම ඇත්තේ වේ. ක්‍රෝධ සිත් ඇත්තේ වේ. වැරදි දැකීම් ඇත්තේ වේ. මහණෙනි, මේ ධර්ම දශයෙන් යුත් උපාසිකාව භය සහිතව ගිහිගෙයි වසයි.

’’මහණෙනි, ධර්ම දශයකින් යුත් උපාසිකාව භය රහිතව ගිහිගෙයි වසයි. කවර දශයකින්ද යත්? සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. සොරකමින් වෙන්වූයේ වේ. කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වූයේ වේ. බොරු කීමෙන් වෙන්වූයේ වේ. කේළාම් කීමෙන් වෙන්වූයේ වේ. ඵරුෂ වචනයෙන් වෙන්වූයේ වේ. හිස් වචනයෙන් වෙන්වූයේ වේ. තද ලෝබකම නැත්තේ වේ. ක්‍රෝධ සිත් නැත්තේ වේ. නිවැරදි දැකීම් ඇත්තේ වේ. මහණෙනි, මේ ධර්ම දශයෙන් යුත් භය රහිතව ගිහිගෙයි වසයි.