අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

1. පඨම පණ්ණාසකය

5. අක්කොසක වර්‍ගය

10. සාමග්ගිකරණ ධම්ම සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවණ ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි බොහෝ භික්‍ෂූහු පසු බත පිණ්ඩපාතයෙන් වැළැක්කේ, උපස්ථාන ශාලාවෙහි හුන්නාහු, රැස්වූවාහු, හටගත් ඩබර ඇත්තාහු, කොලාහල ඇත්තාහු, විවාදයට බැස ගත්තාහු, ඔවුනොවුන් මුඛ නමැති උල්වලින් විදිමින් වාසය කරත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි ඵල සමවතින් නැගිටි සේක්, උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩ සිටි සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිට, භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ’’මහණෙනි, මෙහි දැන් කවර කථාවකින් යුක්තව හුන්නාහුද? තොප විසින් කවර කථාවක් කියා නතර කළේද?’’

’’ස්වාමීනි, අපි මෙහි පසු බත පිණඩපාතයෙන් ආපසු ආවාහු, උපස්ථාන ශාලාවෙහි වැඩ සිටි රැස්වූ හටගත් ඩබර ඇති, හටගත් කලහ ඇති, පැමිණි විවාද ඇති, ඔවුනොවුන් මුඛ නමැති උල්වලින් විදිමින් වාසය කරමු.’’

’’මහණෙනි, ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම, අනගාරිය ශාසනයෙහි මහණවූ යම්බඳුවූ තොපි, හටගත් ඩබර ඇත්තාහුද, හටගත් කළහ ඇත්තාහුද, පැමිණි විවාද ඇත්තාහු, ඔවුනොවුන් මුඛ නමැති උල්වලින් විදිමින් වාසය කරන්නාහු නම් තොපට මෙය නුසුදුසුය.

’’මහණෙනි, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ, සිහි කටයුතු මේ කරුණු දසයක් රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, හුදකලා බව පිණිස පවතිත්. කවර දසයක්ද යත්, මහණෙනි, මේ ශාසනයේ මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන් හා අරමුණෙන් යුක්තවූයේ, ස්වල්ප මාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වූයේ, ශික්‍ෂා පදයන් සමාදන්ව රකියිද,

’’මහණෙනි, යම් හෙයකින් මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන් හා අරමුණෙන් යුක්තවූයේ, ස්වල්ප මාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වූයේ, ශික්‍ෂා පදයන් සමාදන්ව රකියිද, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්‍මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.

’’මහණෙනි, නැවතද මහණතෙම ඇසූදේ දරණ, ඇසූදේ රැස් කරණ බහුශ්‍රුතයෙක් වේද, යම් ඒ ඒ ධර්‍ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්‍ණ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරේද, ඔහු විසින් එබඳු ධර්‍මයෝ බොහෝ අසන ලද්දාහ. දරණ ලද්දාහ. වචනයෙන් පුරුදු වූවාහුය. සිතින් ලබන ලද්දාහ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහ. මහණෙනි, මහණතෙම යම් හෙයකින් බහුශ්‍රුත වේද, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දේ වේද, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්‍මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.

’’මහණෙනි, නැවතද මහණතෙම යහපත් මිත්‍රයන් ඇත්තේ වේ. යහපත් සහායයන් ඇත්තේ වේ. යහපතට නැමෙන්නේ වේ. ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්‍මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.

’’මහණෙනි, නැවතද මහණතෙම කීකරුවූයේ, කීකරුකම ඇති කරණ ධර්මයන්ගෙන් යුක්තවූයේ, අනුශාසනා ඉවසන්නේ, අනුශාසනාව ගෞරවයෙන් පිළිගන්නේ වේද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම කීකරුවේද, සුවච බව ඇති කරණ ධර්‍මයන්ගෙන් යුක්ත වේද, අනුශාසනය ඉවසන්නේ, අනුශාසනය ගෞරවයෙන් පිළිගන්නේ වේද, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්‍මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.

’’මහණෙනි, නැවතද මහණතෙම සබ්‍රම්සරුන්ගේ අසා කළ යුතු ලොකු කුඩා වැඩ වේද, එහි දක්‍ෂ වේද, අලස නොවේද, එහි දක්‍ෂ වූයේ, විමසීමෙන් යුක්තවූයේ, විධාන කරන්ට සුදුසු වේද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම සබ්‍රම්සරුන්ගේ ලොකු කුඩා අසා කටයුතු යම් ඒ කර්‍මයෝ වෙත්ද, එහි දක්‍ෂ වේද, අලස නොවේද, විමසීමෙන් යුක්තවූයේ, විධාන කරන්ට සුදුසුවූයේ ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්‍මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.

’’මහණෙනි, නැවතද මහණතෙම ප්‍රිය කථා ඇත්තේ වේද, අභිධර්මයෙහි උතුම් විනයෙහි මහත් සතුට ඇත්තේ වේද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම ප්‍රිය කථා ඇත්තේ, අභිධර්මයෙහි උතුම් විනයෙහි මහත් ප්‍රමෝදය ඇත්තේ වේද, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්‍මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.

’’මහණෙනි, නැවතද මහණතෙම අකුශල ධර්‍මයන් ප්‍රහීන කිරීම පිණිස, කුශල ධර්‍මයන් ඉපදවීම පිණිස, ශක්ති ඇත්තේ, දැඩි කොට ගත් වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන ලද වැඩ ඇත්තේ, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම අකුශල ධර්‍මයන් ප්‍රහීන කිරීම පිණිස, කුශල ධර්‍මයන් ඉපදවීම පිණිස, ශක්ති ඇත්තේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන ලද වැඩ ඇත්තේ, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වාසය කරයිද, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්‍මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.

’’මහණෙනි, නැවතද මහණතෙම යම්කිසි සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේ වෙයි. මහණෙනි, යම් හෙයකින් මහණතෙම යම් යම් සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේ වේද, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්‍මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.

’’මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රෙෂ්ඨවූ සිහියේ නිපුන භාවයෙන් යුක්ත වේ. කළ බොහෝ කල් ඇති කියා බොහෝ කල් ඇති දෙය සිහි කරන්නේ වේ. නැවත නැවත සිහි කරන්නේ වේ. මහණෙනි, යම් හෙයකින් මහණතෙම ශ්‍රෙෂ්ඨ ස්මෘතියේ නිපුන භාවයෙන් යුක්ත වේද, කළ බොහෝ කල් ඇති කියා බොහෝ කල් ඇති දෙය සිහි කරන්නේ වේ. නැවත නැවත සිහි කරන්නේ වේ. ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්‍මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.

’’මහණෙනි, නැවතද මහණතෙම ආර්‍ය්‍යවූ තියුණු අවබෝධය ඇති, මනාකොට දුක් ක්‍ෂය කිරීමට යන, උත්පත්තිය, මරණය දැන ගන්නා නුවණින් යුක්තවූ, ඤාණවන්තයෙන් වේද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම ආර්‍ය්‍යවූ තියුණු අවබෝධය ඇති, මනාකොට දුක් ක්‍ෂය කිරීමට යන, උත්පත්තිය, මරණය දැන ගන්නා නුවණින් යුක්තවූ, ඤාණවන්තයෙන් වේද, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්‍මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී. මහණෙනි, මේ ධර්ම දසය සිහි කටයුත්තාහ. ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්‍මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.

අක්කොශ වර්‍ගය නිමි.

පළමුවෙනි ආනිශංස පණ්ණාසකය නිමි.