අංගුත්තර නිකාය
එක නිපාතය
10. ලෝණඵල වර්ගය
92. අච්චායික කරණීය සූත්‍රය
“මහණෙනි, ගෘහපති ගොවියා විසින් ඉක්මනින් කළ යුතුවූ වැඩ තුනක් වෙත්. කවර තුනක්ද යත්? මහණෙනි, ගෘහපති ගොවි තෙමේ කෙත වහ වහා මනාව සාන්නේ වෙයි. වහ වහා මනාව සමතලා කරන්නේ වෙයි. වහ වහා සී සා වහ වහා සමතලා කොට වහ වහා බීජ වපුරන්නේ වෙයි. වහ වහා බීජ වපුරා වහ වහා වතුර බඳින්නේද, වතුර හරින්නේද වෙයි. මහණෙනි, මේ ගොවි ගෘහපතියා විසින් ඉක්මනින් කටයුතුවූ වැඩ තුන වෙත්.
“මහණෙනි, ඒ ගෘහපති ගොවියාට ‘මාගේ ධාන්‍ය අදම පැළ වෙත්වා, හෙට ගැබ් ගනිත්වා, අනිද්දා පැසෙත්වායි’ ඍද්ධියක් හෝ ආනුභාවයක් හෝ නැත. යම් කලෙක ඒ ගෘහපති ගොවියාගේ ඒ ධාන්‍ය ඍතු පරිණාමයට පැමිණ පැළ වන්නේත්, ගැබ් ගන්නේත්, පැසෙන්නේත් වෙයිද එබඳු කාලයක් ඇත්තේය.
“මහණෙනි, එසේම භික්ෂුව විසින් ඉක්මනින් කළ යුතුවූ වැඩ තුනක් වෙත්. කවර තුනක්ද? අධිශීල ශික්ෂා සමාදානයද අධිචිත්ත ශික්ෂා සමාදානයද අධිප්‍රඥා ශික්ෂා සමාදානයද වෙයි මහණෙනි මේ භික්ෂුව විසින් ඉක්මනින් කළ යුතු තුන වෙත්.
“මහණෙනි, ඒ භික්ෂුවට ‘අදම හෝ හෙටම හෝ අනිද්දාම හෝ මාගේ සිත ආශ්‍රවයන් කෙරෙන් මිදේවායි’ ඍද්ධියක් හෝ ආනුභාවයක් හෝ නැත.
“මහණෙනි, හුදෙක් යම් කලෙක අධිශීලයෙහි හික්මෙන්නාවූද අධිචිත්තයෙහි හික්මෙන්නාවූද අධිප්‍රඥාවෙහි හික්මෙන්නාවූද, ඒ භික්ෂුවගේ සිත ආශ්‍රවයන් කෙරෙන් මිදෙයිද, එබඳු කාලයක් ඇත්තේය.
‘මහණෙනි, එහෙයින් අධිශීල ශික්ෂා සමාදානයෙහි මාගේ බලවත් කැමැත්ත වන්නේය. අධිචිත්ත ශික්ෂා සමාදානයෙහි මාගේ බලවත් කැමැත්ත වන්නේය. අධිප්‍රඥා ශික්ෂා සමාදානයෙහි මාගේ බලවත් කැමැත්ත වන්නේයයි මෙසේ හික්මිය යුතුය මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයයි” වදාළේය.