අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
4. හතරවෙනි පණ්ණාසකය
(20) 5. මහා වර්‍ගය
1. සොතානුගත සූත්‍රය
’’මහණෙනි, වචනයෙන් පුරුදු කරණ ලද, සිතින් ලබන ලද, දෘෂටියෙන් පිළිවිදිනා ලද, ඤාණසොතයෙන් ව්‍යවස්ථා කරණ ලද ධර්‍මයන්ට ආනිසංස සතරක් කැමතිවිය යුතුය. කවර සතරක්ද යත්.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
’’එහි සුව ඇත්තාවූ ඔහුට ධර්‍ම පදයන් වැටහෙත්. සිහි ඉපදවීම ප්‍රමාදය. ඉක්බිති ඒ සත්ත්‍ව තෙම වහාම විශෙෂගාමී (නිර්‍වාණගාමී) වේ. මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් පිළිවිදි, ශ්‍රොතයට පැමිණි ධර්මයන්ගේ මේ පළමුවෙනි ආනිසංසය කැමති විය යුතුය.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
’’සුවපත්වූ ඔහුට එහිදී ධර්‍මපද නොවැටහෙත්. එතකුදු වුවත් චිත්තවසියට පැමිණි, ඎද්‍ධි ඇති මහණ තෙම දෙව පිරිසෙහි බණ කියයිද, යම් තැනෙක්හි, ’මම පූර්‍වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුනෙම්ද, ඒ ධර්‍මය මේදැ’ යි මෙබඳු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වේ.
’’එතකුදු වුවත් ඒ සත්ත්‍ව තෙම මහණෙනි, යම්සේ දක්‍ෂ පුරුෂයෙක් තෙම දීර්‍ග මාර්‍ගයට පිළිපන්නේ බෙර හඬ අසාද, ඔහුට බෙර හඬක්, බෙරහඬක් නොවේයයිද සැකයක් හෝ විමතියක් හෝ නොවේද, නැවත බෙර හඬමයයි නිෂ්ටාවට යේද, හෙතෙම වහා විශෙෂගාමී වේ.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී. සුවපත්වූ ඔහුට එහි ධර්‍මපද නොවැටහෙත්. එතකුදු වුවත්, ඎද්‍ධි ඇති, චිත්තවසියට පැමිණි මහණතෙම, දිව්‍ය පිරිසෙහි බණ කියයි. ඔහුට යම් තැනෙක්හි, ’මම පූර්‍වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසුරුනෙම්ද, ඒ ධර්‍මය මේදැ’ යි මෙබදු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වෙයි. ඉක්බිති ඒ සත්ත්‍ව තෙම වහාම විශෙෂගාමී වේ.
’’මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද, කණට කැමති ධර්මයන්ගේ මේ දෙවෙනි ආනිසංසය කැමතිවිය යුතුයි.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
’’ඔහුට එහිදී ධර්ම සුවසේ නොවැටහෙයි. ඎද්‍ධි ඇති, චිත්තවසියට පැමිණි මහණ, දෙව් පිරිසෙහි බණ කියයි. තවත් දිව්‍ය පුත්‍ර තෙම දිව්‍ය පිරිසෙහි බණ කියයි. ඔහුට යම් තැනෙක්හි, ’මම පූර්‍වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුනෙම්ද, මේ ඒ ධර්‍ම විනයදැ’ යි මෙබදු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වෙයි. ඉක්බිති ඒ සත්ත්‍ව තෙම වහා විශෙෂගාමී වේ.
’’මහණෙනි, සක් හඬෙහි දක්‍ෂ පුරුෂයෙක් යම් සේද, හෙතෙම මහා මාර්‍ගයට පිළිපන්නේ සක්හඬ අසන්නේය. ඔහුට සක් හඬක්ද, සක් හඬක් නොවේදැයි සැකයක් හෝ විමතියක් නොසිතෙන්නේය. වැලිදු සක්හඬක්මයයි නිෂ්ටාවට යයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
’’එහි සුවපත් ඔහුට ධර්ම පද නොවැටහෙත්. ඎද්‍ධි ඇති, චිත්තවසියට පැමිණි භික්‍ෂුවක් දෙව් පිරිසෙහි බණද නොකියයි. එතකුදුවුවත් දිව්‍ය පුරුෂයෙක් දිව්‍ය පිරිසෙහි බණ කියයි. ඔහුට යම් තැනෙක්හි, ’’මම පූර්‍වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසුරුනෙම්ද, මේ ඒ ධර්මයදැ’ යි මෙබඳු සිතක් වේ. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වේ. එතකුදු වුවත් ඒ සත්ත්‍ව තෙම වහාම විශෙෂගාමී වේ. මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද, කණට වැදුනු ධර්මයන්ගේ මේ තුන්වෙනි ආනිශංසය කැමති විය යුතුයි.
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
’’එහිදී සුවපත්වූ ඔහුට ධර්ම පද නොවැටහෙත්. ඎද්‍ධි ඇති, විත්තවසියට පැමිණි භික්‍ෂුවක් දෙව් පිරිසෙහි බණ නොකියයි. එතකුදු වුවත්, පළමුවෙන් උපන් දිව්‍ය පුත්‍රයෙක්, පසුව උපන් දිව්‍ය පුත්‍රයකු, ’නිදුකාණෙනි, අපි පූර්‍වයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසුරුනෙමු. ඔබ සිහි කරන්නෙහිදැ’ යි සිහි කරවයි. හෙතෙම, ’නිදුකාණෙනි, සිහිවෙයි, නිදුකාණෙනි, සිහිවේය’ යි කියයි. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාද වෙයි. එතකුදු වුවත් ඒ සත්ත්‍ව තෙම වහා විශෙෂගාමී වේ.
’’මහණෙනි, (දාදු) ක්‍රීඩා කරන්නාවූ යහපවන් දෙදෙනෙක් යම් සේද, ඔවුහු යම්කිසි කාලයක එක්වන්නාහුද, ඔවුන් අතුරෙන් යහළුවා යහළුවාට, ’යහළුව මෙසේද සිහි කරන්නෙහිද, මෙසේද සිහි කරන්නෙහිදැ’ යි මෙසේ කියන්නේය. ’යහළුව සිහි වෙයි. යහළුව සිහිවෙයි’. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී.
’’එහි සුවපත්වූ ඔහුට ධර්මපද වැටහෙත්. ඎද්‍ධි ඇති, චිත්තවසියට පැමිණි මහණ තෙම, දෙව් පිරිසෙහි බණ නොකියයි. දිව්‍ය පුත්‍රයෙක්, දෙව් පිරිසෙහි බණ නොකියයි. එතකුදු වුවත්, ’නිදුකාණෙනි, අපි පූර්‍වයෙහි බ්‍රහ්මවර්‍ය්‍යයෙහි හැසුරුනෙමු. ඔබට සිහි ඇද්දැ,’ යි සිහි කරවයි. හෙතෙම, ’සිහි වෙයි, නිදුකාණෙනි, සිහිවෙයි, නිදුකාණෙනි ’ යි කියයි. මහණෙනි, සිහි ඉපදවීම ප්‍රමාදය. එතකුදු වුවත් ඒ සත්ත්‍ව තෙම වහා විශෙෂගාමී වේ.
’’මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් දක්නා ලද, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද, කණට පැමිණි ධර්මයන්ගේ මේ ආනිශංසය කැමති විය යුතුයි. මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද, කණට පැමිණි ධර්මයන්ගේ මේ ආනිශංස සතර කැමති විය යුත්තාහ.’’