අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(24) 4. කම්ම වර්‍ගය

4. කම්මක්ඛය සංවත්ත සූත්‍රය

’’මහණෙනි, මේ කර්‍ම සතරක් මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට දන්වනු ලැබේ.

’’කවර සතරක්ද යත්, අකුශල්වූ අකුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. කුශල්වූ කුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. මහණෙනි, අකුශල්වූද, කුශල්වූද, අකුශල විපාක ඇත්තාවූද, කුශල විපාක ඇත්තාවූද, කර්මයන් ඇත්තේය. මහණෙනි, අකුශල් නුවූ, කුශල් නොවූ, අකුශල විපාක නොවූ, කුශල විපාක නොවූ කර්මයක් කර්මක්‍ෂය පිණිස පවතී.

’’මහණෙනි, අකුශල්වූ, අකුශල විපාකවූ කර්‍මය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ස්වාමි පුරුෂයා සතුන් මරන්නේ වේද, නුදුන් දේ ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, රහමෙර බොන්නේ වේද, දුස්සීලද, ලාමක ස්වභාව ඇත්තේ වේද, මසුරු මලින් යටකොට ගත් සිතින් ගෙහි වෙසේද? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව කරයිද? මහණෙනි, මේ අකුශල්වූ, අකුශල විපාක ඇති කර්මයයි කියනු ලැබේ.

’’මහණෙනි, කුශල්වූ, කුශල විපාකවූ කර්‍මය කවරේද? මහණෙනි මේ ලෝකයෙහි ස්වාමිපුරුෂයෙක් ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද, සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, පහවූ මසුරු මලින් යුත් සිතින් ගෙයි වසයිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රොශ පරිභව නොකරයිද, මහණෙනි, මේ කුශල්වූ, කුශල විපාකවූ කර්මයයි කියනු ලැබේ.

’’මහණෙනි, අකුශල්වූද, කුශල්වූද, අකුශල විපාකවූද, කුශල විපාකවූද, කර්මය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ සහිතවූද, ද්වේශ රහිතවූද, කාය චේතනා රැස් කරයි. ද්වේෂ සහිතවූද, ද්වේශ රහිතවූද, වාක් චේතනා රැස් කරයි. ද්වේෂ සහිතවූද, ද්වේශ රහිතවූද, මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වෙෂ සහිතවූද, ද්වේශ රහිතවූද, කාය චේතනා රැස් කර. ද්වෙෂ සහිතවූද, ද්වේශ රහිතවූද, වාක් චේතනා රැස් කර. ද්වෙෂ සහිතවූද, ද්වේශ රහිතවූද, මනො චේතනා රැස් කර. දුක් සහිතවූද, දුක් රහිතවූද, ලෝකයෙහි උපදී. දුක් සහිතවූද, දුක් රහිතවූද, ලෝකයක උපන්නේම, දුක් සහිතවූද, දුක් රහිතවූද, ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරත්. හෙතෙම දුක් සහිතවූද, දුක් රහිතවූද, ස්පර්‍ශයන්ගෙන් ස්පර්‍ශ වූයේම, දුක් සහිතවූද, දුක් රහිතවූද, මිශ්‍රවූ සැප දුක් ඇති මනුෂ්‍යයන් මෙන්ද, ඇතැම් කාමාවචර දෙවියන් මෙන්ද, ඇතැම් වෛමානික ප්‍රේතයන් මෙන්ද, වේදනාවක් විඳියි. මහණෙනි, මේ අකුශල් හා කුශල්වූද, අකුශල් හා කුශල් විපාක ඇත්තාවූද, කර්මයයි කියනු ලැබේ.

’’මහණෙනි, අකුශල් නොවූත්, කුශල් නොවූත්, අකුශල විපාකත් නොවූ, කුශල විපාකත් නොවූ, කර්මක්‍ෂය පිණිස පවත්නා කර්මය කවරේද? මහණෙනි, එහි යම් මේ කර්මයක් අකුශල්ද, අකුශල විපාක ඇත්තේද, ඔහුගේ ප්‍රහාණය පිණිස යම් චේතනාවක් වේද, යම් මේ කර්මයක් කුශල්ද, කුශල විපාකද, ඔහුගේ ප්‍රහාණය පිණිස යම් චේතනාවක් වේද, යම් කර්‍මයක් අකුශල්ද, අකුශල කුශල විපාකද, ඔවුන්ගේ ප්‍රහාණය පිණිස සම් චේතනාවක් ඇත්තේද, මහණෙනි, මේ කර්‍මය කුශල් නොවේ. අකුශල් නොවේ. පවුත් නොවන, පිනුත් නොවන විපාක ඇත්තේ වේ. කර්‍මක්‍ෂය පිණිස පවතී. මහණෙනි, මේ කර්‍ම සතර මා විසින් මාම විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට දක්වන ලද්දාහ.’’