අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
5. රොහිතස්ස වර්‍ගය
4. අසද්‍ධම්ම චතුක්ක සූත්‍රය
’’මහණෙනි, මේ අසද්‍ධර්‍මයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්, ක්‍රොධය ගරු කරන, සධර්‍මය ගරු නොකරණ බවය, ගුණමකු බව ගරු කරණ, ධර්මය ගරු නොකරණ බවය, ලාභය ගරු කරණ ධර්මය ගරු නොකරණ බවය, සත්කාරය ගරු කරණ, ධර්මය ගරු නොකරණ බවය, මහණෙනි, මේ සතර අසද්‍ධර්‍මයෝයි.
’’මහණෙනි, සද්‍ධර්‍ම සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්, ධර්‍මය ගරු කරණ, ක්‍රොධය ගරු නොකරණ බවය, ධර්මය ගරු කරණ, ගුණමකු බව ගරු නොකරණ බවය, ධර්මය ගරු කරණ, ලාභය ගරු නොකරණ බවය, ධර්මය ගරු කරණ, සත්කාරය ගරු නොකරණ බවය. මහණෙනි, මේ සතර සද්ධර්මයෝයි.
’’ක්‍රොධය, ගුණමකු බව ගරු කරණ, ලාභ සත්කාරයන් ගරු කරණ, භික්‍ෂුව යහපත් කෙතෙක්හි කුණුවූ බීජයක් මෙන්, සද්ධර්මයෙහි නොවැඩෙයි. යම් කෙණෙක් සද්ධර්මය ගරුකොට වාසය කළාහුද, වාසය කරත්ද, ඔවුහු ඒකාන්තයෙන් ඖෂධය තෛලයෙන් මිශ්‍රවූවාක් මෙන් ධර්මයෙහි වැඩෙත්.’’