අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(10) 5. අසුර වර්‍ගය

9. සික්ඛා පූරක සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?

’’තමාගේ යහපත පිණිස පිළිපන්, අනුන්ගේ යහපත පිණිස පිළිනොපන් පුද්ගලයාය, අනුන්ට හිත පිණිස පිළිපන්, තමාගේ යහපත පිණිස පිළිනොපන් පුද්ගලයාය, තම යහපත පිණිස හෝ අනුන්ගේ යහපත පිණිස පිළිනොපන් පුද්ගලයාය, තමාගේ යහපත පිණිසත්, අනුන්ගේ යහපත පිණිසත් පිළිපන් පුද්ගලයාය යන සතරදෙනයි.

’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම තමාගේ යහපත පිණිස පිළිපන්නේ වේද? අනුන්ගේ යහපත පිණිස නොපිළිපන්නේද?

’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුදගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, අන්‍යයන් සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් කාමමිත්‍ථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් බොරු කීමෙන් වෙන්වූයේ වේ. අන්‍යයන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වූයේ වේ. අනුන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම තමන්ගේ යහපත පිණිස පිළිපන්නේ වේ. අනුන්ගේ යහපත පිණිස නොපිළිපන්නේ වේ

’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම අනුන්ගේ හිත පිණිස පිළිපන්නේද, තමන්ගේ යහපත පිණිස නොපිළිපන්නේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන් නොවූයේ වේද, අන්‍යයන් සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි.

තමන් නුදුන් දේ ගැනීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් නොවූයේ වේ, අනුන් කාමමිත්‍යාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි.

’’තමන් මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර පීමෙන් වෙන් නුවූයේ වේ, අනුන් මදයට හා ප්‍රමාදයට හේතුවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම පරහිත පිණිස පිළිපන්නේ වේ. තමාගේ හිත පිණිස නොපිළිපන්නේ වේ.

’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම තමාගේ අභිවෘද්‍ධිය පිණිසද, අනුන්ගේ අභිවෘද්‍ධිය පිණිසද, නොපිළිපන්නේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන් සතුන් මැරීමෙන් වෙන් නොවූයේ වේද, අන්‍යයන් සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් නුදුන් දේ ගැනීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් නොවූයේ වේ, අනුන් කාමමිත්‍යාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් බොරුකීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් බොරුකීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. තමන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් නොවූයේ වේ, අනුන් මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් නොකරවයි. මෙසේ වනාහි මහණෙනි, පුද්ගල තෙම තමාගේ යහපත පිණිසත් අනුන්ගේ යහපත පිණිසත් නොපිළිපන්නේ වේ.

’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම තමන්ගේ යහපත පිණිසද, අනුන්ගේ යහපත පිණිසද පිළිපන්නේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් .තමන්ද සතුන් මැරීමෙන් වෙන් වූයේ අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි.

’’තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ. අන්‍යයන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි.

’’ තමන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් වූයේ වේ. අනුන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙම තමහට හිත පිණිසද, අනුන්ට හිත පිණිසද පිළිපන්නේ වේ. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’