අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(15) 5. තිකණ්ටකී වර්‍ගය

4. තිකණ්ටකීවන සූත්‍රය

’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේත නම් නුවර තිකන්‍දකී නම් වනයෙහි වැඩ වසන සේක. එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ’’මහණෙනි,’’ කියා ඇමතූසේක. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, භික්‍ෂු තෙම කලින් කල නොපිළිකුල් අරමුණෙහි පිළිකුල් සංඥා ඇත්තේ වාසය කරන්නේ නම් මැනවි. මහණෙනි, භික්‍ෂු තෙම කලින් කල පිළිකුල් අරමුණෙහි නොපිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේ නම් මැනවි. මහණෙනි, භික්‍ෂු තෙම කලින්කල නොපිළිකුල් අරමුණෙහිද, පිළිකුල් අරමුණෙහිද. පිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේ නම් මැනවි. මහණෙනි, භික්‍ෂු තෙම කලින් කල පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේ නම් මැනවි. මහණෙනි, භික්‍ෂු තෙම කලින් කල නොපිළිකුල්වූද, පිළිකුල්වූද, ඒ අරමුණු දෙක දුරුකොට මැදහත්ව. සිහි ඇතිව, මනා දැනුම ඇතිව, වාසය කරන්නේ නම් මැනවි.

’’මහණෙනි, භික්‍ෂු තෙම කෙසේ නම් කරුණක් නිසා නොපිළිකුල් අරමුණෙහි පිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේද? ’මට ඇළුම් කටයුතු ධර්මයන්හි රාගය නූපදීවා’ යි. මහණෙනි, භික්‍ෂු තෙම මේ කරුණ නිසා නොපිළිකුල් අරමුණෙහි පිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේය.

’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම කරුණක් නිසා පිළිකුල් අරමුණෙහි නොපිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේද? ’මට ද්වේෂ කටයුතු ධර්මයන්හි ද්වේෂය නූපදීවා’ යි. මහණෙනි, භික්‍ෂු තෙම මේ කරුණු නිසා පිළිකුල් අරමුණෙහි නොපිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේය.

’’මහණෙනි, භික්‍ෂු තෙම කෙසේ නම් කරුණක් නිසා නොපිළිකුල් අරමුණෙහිද, පිළිකුල් අරමුණෙහිද, පිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේද? ’මට ඇළුම් කටයුතු ධර්මයන්හි රාගය නූපදීවා, මට ද්වේෂ කටයුතු ධර්‍මයන්හි ද්වේෂය නූපදීවා’ යි. මහණෙනි, භික්‍ෂු තෙම මේ කරුණ නිසා නොපිළිකුල් අරමුණෙහිද, පිළිකුල් අරමුණෙහිද, පිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේය.

’’මහණෙනි, භික්‍ෂු තෙම කෙසේ නම් කරුණක් නිසා නොපිළිකුල් අරමුණෙහිද, පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නෙහිද? ’ මට ද්වේෂ කටයුතුවූ ධර්‍මයන්හි ද්වේෂය නූපදීවා, මට ඇළුම් කටයුතුවූ ධර්මයන්හි රාගය නූපදීවා’ යි, මහණෙනි, භික්‍ෂු තෙම මේ කරුණ නිසා පිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් අරමුණෙහිද, නොපිළිකුල් සංඥා ඇතිව වාසය කරන්නේය.

’’මහණෙනි, භික්‍ෂු තෙම කෙසේ නම් කරුණක් නිසා නොපිළිකුල්වූද, පිළිකුල්වූද, ඒ අරමුණු දෙක දුරුකොට, මැදහත්ව, සිහි ඇතිව, නුවණැතිව වාසය කරන්නේද, ’මට කිසි අරමුණෙක්හි කිසි තැනෙක්හි සුළු තරම්වූද, ඇළුම් කටයුතු ධර්මයන්හි රාගය නූපදීවා. මට කිසි අරමුණෙක්හි කිසි තැනෙකත් සුළු තරම්වූද, ද්වේෂ කටයුතු ධර්මයන්හි ද්වේෂය නූපදීවා. මට කිසි අරමුණක, කිසි තැනකත් ස්වල්ප තරම්වූද, මුළාවියයුතු ධර්මයන්හි මුළාවෙක් නූපදීවා’ යි.

’’මහණෙනි, භික්‍ෂු තෙම මේ කරුණ නිසා නොපිළිකුල්වූද, පිළිකුල්වූද, ඒ අරමුණු දෙක දුරුකොට මැදහත්ව, සිහි ඇතිව, නුවණැතිව වාසය කරන්නේය’’ යි වදාළ සේක.