අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(17) 2. අඝාත වර්‍ගය
5. පඤ්ච පුච්ඡන සූත්‍රය
’’එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, ’’ඇවැත්නි මහණෙනි,’’ යි භික්‍ෂූන්ට ඇමතූ සේක. ’’ඇවැත්නි’’ කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
’’ඇවැත්නි, යම්කිසිවෙක් වනාහි අනිකෙකුගෙන් ප්‍රශ්න අසයිද. ඒ සියල්ල කරුණු පසකින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙයි.
’’කවර පසකින්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළාවන බැවින් අනිකෙකුගෙන් ප්‍රශ්න අසයි. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. පරිභව කරන්නේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. දැනගණු කැමැත්තේ අනිකාගෙන් ප්‍රශ්න අසයි. නොහොත් ඉතා කිපෙමින් අනිකාගෙන් ප්‍රශ්න අසයි. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ කරන්නේ නම් මෙසේ මෙය යහපති. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ නොකරන්නේ නම් මම මොහුට මනාකොටම ප්‍රකාශ කරන්නෙමියි’’
’’ඇවැත්නි, යම්කිසිවෙක් වනාහි අනිකෙකුගෙන් ප්‍රශ්න අසයිද. ඒ සියල්ල කරුණු පසකින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙයි.
’’ඇවැත්නි, ’මම වනාහි මෙබඳු සිත් ඇත්තේ අනිකාගෙන් ප්‍රශ්නය අසමි. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ කරන්නේ නම් මෙසේ මේ යහපති. ඉදින් මා විසින් ප්‍රශ්නය අසන ලද්දේ මනාකොටම ප්‍රකාශ නොකරන්නේ නම්, මම මොහුට මනාකොටම ප්‍රකාශ කරන්නෙමි’ යි වදාළේය.