අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(22) 2. අක්කොසක වර්‍ගය
3. සීලවිපත්‍යාදීනව සූත්‍රය
’’මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්තියෙහි මේ දෝෂ පසක් වෙත්.
’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීල තෙමේ ප්‍රමාදය හේතු කොට ගෙණ මහත්වූ සම්පත් පිරිහීමට පැමිණේ. මහණෙනි, දුශ්ශීලයාගේ සීල විපත්තියෙහි මේ පළමුවන දෝෂය වේ.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. ශීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාගේ ලාමකවූ කීර්ති ශබ්දයක් පැන නගියි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්තියෙහි මේ දෙවන දෝෂය වේ. මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීල තෙමේ ක්‍ෂත්‍රිය පිරිසකට හෝ බ්‍රාහ්මණ පිරිසකට හෝ ගාහපති පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ යම් යම්ම පිරිසකට පැමිණේද, විශාරද නොව මතුවූයේ පැමිණෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්ති යෙහි මේ තුන්වන දෝෂය වේ. මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීල තෙම ඉතා මුළාවූයේ කළුරිය කරයි. මහණෙනි, දුශ්ශීලයාගේ සීල විපත්තියෙහි මේ සතරවන දෝෂය වේ මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීල තෙමේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ නපුරුසේ පතිත වන්නාවූ නරකයෙහි උපදී. මහණෙනි, දුශ්ශීලයාගේ සීල විපත්තියෙහි මේ පස්වන දෝෂය වේ.
’’මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්තියෙහි මේ දෝෂ පසක් වෙත්.
’’මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ අනුසස් පසක් වෙත්.
’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි සීලයෙන් යුක්තවූ සිල්වත් තෙම අප්‍රමාදය හේතුකොට ගෙණ මහත්වූ සම්පත් රාශියට පැමිණේ. මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ පළමුවන ආනිශංසය වේ. මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීලයෙන් යුක්තවූ සිල්වත්හුගේ යහපත්වූ ගුණ ඝෝෂාවක් පැන නගියි. මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ දෙවන ආනිශංසය වේ. මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීලයෙන් යුක්තවූ සිල්වත් තෙමේ ක්‍ෂත්‍රිය පිරිසකට හෝ, බ්‍රාහ්මණ පිරිසකට හෝ, ගෘහපති පිරිසකට හෝ, ශ්‍රමණ පිරිසකට හෝ, යම් යම්ම පිරිසකට පැමිණියේද, නිර්භයව, මකුනොවී පැමිණෙයි. මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ තුන්වෙනි ආනිශංසය වේ. මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීලයෙන් යුක්තවූ සිල්වත් තෙමේ මුළානොවූයේ කළුරිය කරයි. මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ සතරවන ආනිශංසය වේ. මහණෙනි, නැවත අනිකක්ද කියමි. සීලයෙන් යුක්තවූ සිල්වත් තෙමේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදී. මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ පස්වන ආනිශංසය වේ.
’’මහණෙනි, සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ අනුසස් පසක් වෙත්.