අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
1. පඨම පණ්ණාසකය
4. සුමනා වර්ගය
2. චුන්දී සූත්‍රය
’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි චුන්දී නම් රාජ කුමාරී තොමෝ
පන්සියයක් රථ වලින් පන්සියයක් රජ කුමරියන් විසින් පිරිවරණ ලද්දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකස් කොට වැඳ එකත්පස්ව හුන්නේය.
එකත්පස්ව හුන්නාවූම චුන්දී නම් රාජ කුමාරී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමීනි, අපගේ චුන්ද නම් රාජ කුමාරයෙක් වේ. හෙතෙම මෙසේ කීය. ’යම් මේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ කොට ගියේ වේද, දහම් සරණ කොට ගියේ වේද, සංඝයා සරණ කොට ගියේ වේද, ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාම මිත්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදියි. දුර්ගතියෙහි නූපදියි’’ යනුයි.
’’ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ විචාරමි.
’’ස්වාමීනි, කෙබඳුවූ ශාස්තෘවරයෙකු කෙරෙහි ප්‍රසන්නවූයේ
’’ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදීද. දුර්ගතියෙහි නූපදීදැයි
’’ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ විචාරමි. ස්වාමීනි, කෙබඳුවූ ධර්මයෙක්හි වනාහි ප්‍රසන්නවූයේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදීද. දුර්ගතියෙහි නූපදීදැයි. කෙබඳු සංඝයා කෙරෙහි වනාහි ප්‍රසන්නවූයේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදීද. දුර්ගතියෙහි නූපදීදැයි. කෙබඳු කුශල ධර්මයන්හි සම්පූර්ණ කිරීම් ඇත්තේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදීද. දුර්ගතියෙහි නූපදීදැයි.’’
’’එම්බා වුන්දිය. පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ සිව්පා ඇත්තාවූ හෝ බොහෝ පාද ඇත්තාවූ හෝ රූප ඇත්තාවූ හෝ රූප නැත්තාවූ හෝ සංඥා ඇත්තාවූ හෝ සංඥා නැත්තාවූ හෝ නෙවසඤ්ඤීනාසචඤ්ඤීවූ හෝ යම්තාක් සත්ත්වයෝ වෙද්ද, ඔවුන් අතුරෙන් අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේ උතුම්යයි කියනු ලැබේ. චුන්දිය, යම් කෙනෙක් වනාහි බුදුන් කෙරහි ප්‍රසන්න වූවාහුද, ඔවුහු අග්‍ර වූයහු කෙරෙහි ප්‍රසන්න වූවාහුය. අග්‍ර වූවහු කෙරෙහි වනාහි ප්‍රසන්න වූවන්ට අග්‍රවූ විපාකය වේ.
’’චුන්දිය, සංස්කරණය කරණ ලද්දාවූ හෝ සංස්කරණය නොකරණ ලද්දාවූ හෝ යම්තාක් ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අතුරෙන් යම් සේ රාගාදී මදයන්ගේ දුරු කිරීම ඇත්තාවූ, සියලු පිපාසා දුරු කිරීම ඇත්තාවූ, සියලු ආලයන්ගේ නැසීම ඇත්තාවූ, වෘත්තයන්ගේ සිඳීම් ඇත්තාවූ, තෘෂ්ණාවන්ගේ ක්ෂය කිරීම් ඇත්තාවූ, නොඇල්ම ඇත්තාවූ, නිරුද්ධවීම ඇත්තාවූ, නිවණක් වේද, විරාග නම්වූ ඒ නිවණ අග්‍රයයි කියනු ලැබේ. චුන්දිය, යම් කෙනෙක් වනාහි විරාග ධර්මයෙහි පැහැදුනාහුද, ඔවුහු අග්‍රවූ ධර්මයෙහි පැහැදුනාහුය. අග්‍රවූ ධර්මයෙහි වනාහි පැහැදුනවුන්ට අග්‍රවූ විපාකය වේ.
’’එම්බා චුන්දිය, යම් තාක් සඞ්ඝ වූවාහු හෝ ගණ වූවාහු හෝ වෙද්ද, ඔවුන්ගෙන් යම් මේ පුරුෂ යුග්ම සතරක් වෙද්ද, පුරුෂ පුද්ගලයන් අට දෙනක් වෙද්ද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝ තෙම පූජාවට සුදුසු වේ. දුර සිට ගෙනෙන ලද පූජාවට සුදුසු වේ. දක්ෂිණාව පිළිගැනීමට සුදුසු වේ. ඇඳිලි කිරීමට සුදුසු වේ. ලෝකයාට උතුම්වූ පින් කෙත වේද, මේ තථාගතයන්ගේ ශ්‍රාවක සංඝ තෙම අග්‍රයයි කියනු ලැබේ. චුන්දිය, යම් කෙනෙක් වනාහි සඞ්ඝයා කෙරෙහි ප්‍රසන්න වූවාහුද, ඔවුහු අග්‍ර තන්හි ප්‍රසන්න වූවාහු වෙත්. අග්‍රවූ සංඝයා කෙරෙහි ප්‍රසන්න වූවන්ට වනාහි අග්‍රවූ විපාකය වේ.
’’එම්බා චුන්දිය, ආර්‍ය්‍යයන් කැමැතිවූ යම්තාක් ශීලයෝ වෙද්ද, ඔවුන්ගෙන් නොකඩවූ, නොසිදුරුවූ, නොකැළල්වූ, තිත් නැත්තාවූ, දාසකමින් මිදුනාවූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්වීන් පරාමර්ශණය නොකරණ ලද්දාවූ, සමාධිය පිණිස පවත්නාවූ යම් මේ ශීලයෝ වෙද්ද, මෙය අග්‍රයයි කියනු ලැබේ. චුන්දිය, යම් කෙනෙක් වනාහි ආර්‍ය්‍යයන් කැමතිවූ ශීලයන්හි සම්පූර්ණ කිරීම ඇත්තාහු වෙද්ද, ඔවුහු අග්‍රවූ ශීලයෙහි සම්පූර්ණ කිරීම ඇත්තාහු වෙත්. අග්‍රවූ ශීලයෙහි වනාහි සම්පූර්ණ කිරීම ඇත්තවුන්ට අග්‍රවූ විපාකය වේ.
(1) ’’ඒකාන්තයෙන් අග්‍ර වශයෙන් පැහැදුනාවූ, අග්‍රවූ ධර්මය දන්නාවූ, නිරුත්තර දක්ෂිණාර්හවූ, අග්‍රවූ බදුන් කෙරෙහි පැහැදුනවුන්ටද,
(2) ’’විරාගයෙන් හා උපසමයෙන් යුත් සැපය ඇත්තාවූ, අග්‍රවූ ධර්මයෙහි පැහැදුනවුන්ටද, උතුම් පින් කෙතක්වූ අග්‍රවූ සංඝයා කෙරෙහි පැහැදුනවුන්ටද,
(3) ’’අග්රවූවහු කෙරෙහි දානය දෙන්නවුන්ටද අග්‍රවූ පින වැඩේ. අග්‍රවූ ආයුෂයද, අග්‍රවූ ශරීර වර්ණයද, යශස හා කිර්තියද, සැපයද, බලයද ලැබේ.
(4) ’’අග්රවූවහුට දෙන්නාවූ, නුවණැත්තාවූ, අග්‍ර ධර්මයෙන් යුක්තවූ පුද්ගල තෙමේ, දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අග්‍ර බවට පැමිණියේ අතිශයින් සතුටු වේයයි වදාළ සේක.’’