අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

4. දේවතා වර්‍ගය

11. දාරුක්ඛන්‍ධාධි මුච්චන සූත්‍රය

’’මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන බොහෝ භික්‍ෂූන් සමග ගිජුකුළු පව්වෙන් බසින්නේ එක්තරා තැනක මහත් දර කඳක් දුටුයේය. දැක භික්‍ෂූන්ට කථා කළහ.

’’ඇවැත්නි, මේ මහත් දර කඳ දක්නහුද ?’’ ’’ඇවැත්නි, එසේය.’’

ඇවැත්නි, ඎර්ධි ඇති සිත වසඟකරගත් මහණ තෙම කැමැත්තේ නම් මේ දර කඳ පොළොවම යයි පෙන්වයි. ඇවැත්නි, ඎර්ධි ඇති සිත වසඟකරගත් මහණ තෙම කැමැත්තේ නම් මේ දර කඳ ජලයමයයි පෙන්වයි. ඇවැත්නි, ඎර්ධි ඇති සිත වසඟකරගත් මහණ තෙම කැමැත්තේ නම් මේ දර කඳ ගින්නම යයි පෙන්වයි. ඇවැත්නි, ඎර්ධි ඇති සිත වසඟකරගත් මහණ තෙම කැමැත්තේ නම් මේ දර කඳ වාතයමයයි පෙන්වයි. ඇවැත්නි, ඎර්ධි ඇති සිත වසඟකරගත් මහණ තෙම කැමැත්තේ නම් මේ දර කඳ යහපත්යයි පෙන්වයි. ඇවැත්නි, ඎර්ධි ඇති සිත වසඟකරගත් මහණ තෙම කැමැත්තේ නම් මේ දර කඳ අයහපත්යයි පෙන්වයි.

’’ඊට හේතු කවරේද ? ඇවැත්නි, යමක් ඇසුරුකොට ඎර්ධි ඇති සිත වසඟ කෙරෙත්. භික්‍ෂුතෙම යම් අශුභයක් නිසා මේ දර කඳ අශුභයයි සිතුවේද, මේ දරකඳෙහි ඒ අශුභ ගතිය ඇත. එහෙයිනි.’’