අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

5. ධම්මික වර්‍ගය

6. සන්‍දිඨිකධම්ම සූත්‍රය

ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු, සිහි කටයුතු, කථාව කොට නිමවා, එකත්පස්ව හුන්නේය. එකත්පසෙක සිටියාවූ ඒ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය.

’’ස්වාමීනි, ධර්‍මය සාන්දෘෂ්ටිකය. ධර්‍මය සාන්දෘෂ්ටිකය.යි (තමා විසින්ම අවබෝධ කටයුතුයයි) කියයි. ස්වාමීනි, කවර කරුණකින් ධර්‍මය සාන්දෘෂ්ටික වේද, කල් නොයවා දෙන ඵල ඇත්තේද, එව, බලව යි කියයුතු වේද, සමීපයට පැමිණියයුතු වේද, නුවණැත්තන් විසින් වෙන වෙන දැනගතයුතුයයි කියාද? ’’ යනුයි.

’’එසේ නම් බමුණ, මෙහිලා එයම විචාරන්නෙමි. යම්සේ ඔබ ඉවසන්නෙහි නම් එසේ මෙය ප්‍රකාශ කරව. බ්‍රාහ්මණය, කුමකැයි සිතන්නෙහිද? ඇත්තාවූ අධ්‍යාත්මික රාගය මාගේ අධ්‍යාත්මයෙහි රාගය ඇත්තේයයි දන්නෙහිද. නැත්තාවූ අධ්‍යාත්මික රාගය මාගේ අධ්‍යාත්මයෙහි රාගය නැත්තේයයි දන්නෙහිද? පින්වත් බ්‍රාහ්මණය, මෙසේ ඔබ යම් හෙයකින් ඇත්තාවූ අධ්‍යාත්මික රාගය මාගේ අධ්‍යාත්මයෙහි රාගය ඇත්තේයයි දන්නෙහිද? නැත්තාවූ අධ්‍යාත්මික රාගය මාගේ අධ්‍යාත්මයෙහි රාගය නැත්තේයයි දන්නෙහිද? බමුණ මෙසේ වනාහි ධර්‍මය සාන්දෘෂ්ටිකවූයේ වෙයි. අකාලික, එහිඵස්සික. ඕපනයික හා නුවණැත්තන් විසින් වෙන වෙනම දැනගතයුතු වෙයි.

’’බ්‍රාහ්මණය, කුමකැයි සිතන්නෙහිද? ඇත්තාවූ අධ්‍යාත්මික ද්වේෂය - මෝහය, කයෙහි නොහික්මීම, වචනයෙහි නොහික්මීම, සිතෙහි නොහික්මීම ඇත්තාහුයයි දන්නෙහිද? නැත්තාවූ අධ්‍යාත්මික ද්වේෂය, මෝහය, කයෙහි නොහික්මීම, වචනයෙහි නොහික්මීම, සිතෙහි නොහික්මීම නැත්තාහුයයි දන්නෙහිද? බ්‍රාහ්මණය, මෙසේ වනාහි ධර්‍මය සාන්දෘෂ්ටිකවූයේ වෙයි. අකාලික, එහිඵස්සික. ඕපනයික හා නුවණැත්තන් විසින් වෙන වෙනම දැනගතයුතු වෙයි.

’’භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’