අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
5. ධම්මික වර්‍ගය
11. උභයත්‍ථසමධිභාග සූත්‍රය
ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයතු, සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය.
’’ස්වාමීනි, එකම ධර්‍මයක් වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගන්නේ නම් එබඳු ධර්‍මයක් ඇත්තේද?
’’බ්‍රාහ්මණය, එකම ධර්‍මයක් වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගන්නේ නම් එබඳු ධර්‍මයක් ඇත්තේමය.’’
’’ස්වාමීනි, ඒ ධර්‍මය කවරේද?’’
’’බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්‍මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. යම් සේ අවිදින සියලුම සතුන්ගේ පියවර ඇත් පියවරෙහි ඇතුලත් වේද, ඇත් පියවර ඒ සියල්ලන්ගෙන් ශ්‍රේෂ්ඨ වෙයි. එමෙන්ම බමුණ, මේ අප්‍රමාදය යන එකම ධර්‍මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද ලබාගනියි.
’’බ්‍රාහ්මණය, යම්සේ උස්වූ ගෙයක වක්වූ යටලී ඇද්ද, ඒ සියල්ලම ගෙය පිහිටකොට ඇත්තෝද, ගෙය දෙසට නැමුනෝද, ඒ සියල්ලට වඩා ඒ උස් ගෙයම ප්‍රධාන වේද? එපරිද්දෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්‍මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, සැවැන්න (කොළ) කපන්නෙක් සැවැන්න කපා අගින් අල්වා ගසාද, සොලවාද. එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්‍මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, යම් සේ අඹ පොකුරකින් නටුවෙන් ගිලිහී වැටුන යම් ඒ අඹත් අර පොකුරටම අයත් වේද, එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්‍මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, යම් සේ සියලුම ප්‍රදේශ රජවරු සක්විති රජුට යටත් වූවාහු වෙත්ද, ඒ රජවරුන්ට වඩා චක්‍රවර්ති රජ ශ්‍රේෂ්ඨ වේද, එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්‍මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බමුණ, සියලුම තාරකාවන්ගේ ආලෝකය චන්‍ද්‍රයාගේ ආලෝකයෙන් දහසයවන කලාවටවත් නොඅගීද, ඒවාට වඩා චන්‍ද්‍රයාගේ ආලෝකය ප්‍රධාන වේද, එපරිද්දෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය යන එකම ධර්‍මය වඩන ලද්දේ, බොහෝ සේ පුරුදු කරණ ලද්දේ, මෙලොව වැඩද, පරලොව වැඩද යන දෙකම ලබාගනියි. බ්‍රාහ්මණය, මේ එකම ධර්‍මය වඩන ලද්දේ, බොහෝ වශයෙන් පුරුදු කරණ ලද්දේ මෙලොවද, පරලොවද වැඩ සිදු කරයි.’’
’’භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’