අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

1. පඨම පණ්ණාසකය

2. මහාවර්‍ගය

6. දූතෙය්‍ය සූත්‍රය

’’මහණෙනි, ගුණධර්ම අටකින් යුක්තවූ භික්‍ෂු තෙම (ධර්ම දූත) පණිවිඩ ගෙන යෑමට සුදුසුය.

’’කවර ගුණධර්ම අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම (ධර්මදූත) පණිවිඩ කීමෙහි දක්‍ෂවෙයි. (උත්තර) පණිවිඩ ගෙන ඊමෙහි දක්‍ෂ වෙයි. පණිවිඩය සිතට ගැනීමෙහි දක්‍ෂවෙයි. පණිවිඩය සිත තබා ගැනීමෙහි දක්‍ෂ වෙයි. පණිවිඩය අවබෝධ කර ගැනීමෙහි දක්‍ෂවෙයි. පණිවිඩය අවබෝධ කරවීමෙහි දක්‍ෂ වෙයි. සාහිත්‍යය අසාහිත්‍යය (නිවැරදි භාෂාව හා වැරදි භාෂාව) යන දෙක්හි දක්‍ෂවෙයි. කෝලාහල කරුවෙක්ද නොවෙයි. මහණෙනි, ගුණධර්ම අටකින් යුක්තවූ භික්‍ෂු තෙම (ධර්ම දූත) පණිවිඩ ගෙන යෑමට සුදුසුය.

’’මහණෙනි, ගුණාඞ්ග අටකින් යුක්තවු ශාරීපුත්‍රය (ධර්ම) දූත මෙහෙවරය පිණිස යෑමට සුදුසුය.

’’කවර ගුණාඞ්ග අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි ශාරීපුත්‍ර තෙම (ධර්මදූත) පණිවිඩ කීමෙහි දක්‍ෂවෙයි. (උත්තර) පණිවිඩ ගෙන ඊමෙහි දක්‍ෂ වෙයි. පණිවිඩ සිතට ගැනීමෙහි දක්‍ෂවෙයි. පණිවිඩය සිත තබා ගැනීමෙහි දක්‍ෂ වෙයි. පණිවිඩය අවබෝධ කර ගැනීමෙහි දක්‍ෂවෙයි. පණිවිඩය අවබෝධ කරවීමෙහි දක්‍ෂ වෙයි. සාහිත්‍යය අසාහිත්‍යය යන දෙක්හි දක්‍ෂවෙයි. කෝලාහල කරුවෙක්ද නොවෙයි. මහණෙනි, මේ ගුණාඞ්ග අටින් යුක්තවූ ශාරීපුත්‍ර තෙම දූත මෙහෙවර පිණිස යෑමට සුදුසුය.

’’යම් කිසිවෙක් දක්‍ෂ කථිකයන්ගෙන් යුත් පිරිස (මධ්‍යය) ට පැමිණ ඒකාන්තයෙන් නොවෙවුලයිද, (පණිවිඩයේ) වචන නොපිරිහෙලාද, පණිවිඩය නොසඟවාද, නිසැකව කථා කරයිද, (යම්කිසි) ප්‍රශ්ණයක් අසන ලද්දේ නොකිපේද, ඉදින් එබඳු භික්‍ෂුවක් වන්නේ නම් (හෙතෙම) දූත මෙහෙවර පිණිස යෑමට සුදුසුයි.’’