අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
1. පඨම පණ්ණාසකය
1. මෙත්තා වර්‍ගය
6. විතත්‍ථ ලොක ධම්ම සූත්‍රය
’’මහණෙනි, මේ අෂ්ට ලෝක ධර්‍මය තෙම ලෝකය ලුහුබඳී. (ලෝකය අනුව පෙරළෙයි.) ලෝකයද අෂ්ට ලෝක ධර්‍මය ලුහුබඳියි. (අෂ්ට ලෝක ධර්‍මය අනුව පෙරළෙයි.)
’’ඒ ලෝක ධර්‍ම අට කෙසේද යත්? ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන අටය.
’’මහණෙනි, ධර්‍ම විනය නූගත් පෘතග්ජනයාට ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද උපදී. මහණෙනි, ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන අටය.
’’මහණෙනි, ඒ කරුණ පිළිබඳව ධර්‍ම විනය නූගත් පෘතග්ජනයාට වඩා ධර්‍ම විනය උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ වෙනස කුමක්ද? අධිකවූයේ කුමක්ද? විශෙෂ කරුණ කුමක්ද?’’
’’ස්වාමීන් වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නායක කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහ. ස්වාමීන් වහන්ස, ඒකාන්තයෙන් ඒ වදාරණ ලද ධර්‍මයාගේ අර්ත්‍ථය භාග්‍යවතුන් වහන්සේම වදාරණ සේක් නම් යහපති. භාග්‍යවතුන් වහන්සේගෙන්ම (ඒ ධර්‍මය) අසා භික්‍ෂහු ඉගෙන ගනිත්.’’
’’මහණෙනි, එසේ වී නම් අසව්. යහපත්ව මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි.’’ - ’’ස්වාමීන් වහන්ස, එසේය’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
(1) ,මහණෙනි, ධර්‍ම විනය නූගත් පෘතග්ජනයාට ලාභය උපදී. හෙතෙම මෙසේ කල්පනා නොකරයි. (කෙසේද?’ ’මට මේ ලාභය උපන්නේ නමුදු එය අනිත්‍යයි, දුකයි, වෙනස්වන (නැතිවන) ස්වභාව’ යි කියා (එහි) නියම තත්ත්‍වය නොදනී.
’’අලාභය ඇතිවේද, අයස ඇතිවේද, යසස ඇතිවේද, නින්‍දා ඇතිවේද, ප්‍රශංසා ඇතිවේද, සැප ඇතිවේද, දුක ඇතිවේද, එය අනිත්‍යයි, දුකයි, වෙනස්වන (නැතිවන) ස්වභාව’ යි කියා (එහි) නියම තත්ත්‍වය නොදනී.
’’ලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන සිටී. අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන සිටී. හෙතෙම උපන් ලාභය රැක ගනී. උපන් අලාභයෙහි විරුද්‍ධ වෙයි. උපන් අයසෙහි විරුද්‍ධවෙයි. උපන් යසස රැක ගනී. උපන් නිත්‍දාවෙහි විරුද්‍ධවෙයි. උපන් ප්‍රශංසාව රැකගනී. උපන් සැප රැක ගනී. උපන් දුකෙහි විරුද්‍ධ වෙයි. මෙසේ හෙතෙම ඉෂ්ටවූ ලෝක ධර්‍මය රැක ගැනීමෙහිත්, අනිෂ්ටවූ ලෝක ධර්‍මය කෙරෙහි විරුද්‍ධත්වය පහළ කිරීමෙහිත් යෙදුනේ, ජාති දුකින්ද, ජරා දුකින්ද, මරණ දුකින්ද, සොක දුකින්ද, පරිදේව දුකින්ද, කායික දුකින්ද, මානසික දුකින්ද, උපායාස දුකින්ද නොමිදේ. (එහෙයින්) දුකින් නොමිදේයයි කියමි.
’’මහණෙනි, ධර්‍ම විනය උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාට ලාභය උපදී. හෙතෙම මෙසේ කල්පනා කරයි. (කෙසේද?) මේ ලාභය වනාහි මට උපන්නේය. (එසේද වුවත්) එය අනිත්‍යය, දුකය, වෙනස්වන (නැතිවන) ස්වභාවයයි (එහි) නියම තත්ත්‍වය දනී. අලාභය උපදීද, යසස උපදීද, අයස උපදීද, ප්‍රශංසා උපදීද, නින්‍දා උපදීද, සැප උපදීද, දුක උපදීද, හෙතෙම මෙසේ කල්පනා කරයි. (කෙසේද?) මේ දුක වනාහි මට උපන්නේය. (එසේද වුවත්)) එය අනිත්‍යය, දුකය, වෙනස්වන (නැතිවන) ස්වභාවයයි(එහි) නියම තත්ත්‍වය දනී. ලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. අලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. අයසද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. යසසද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. නින්‍දාද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. ප්‍රශංසාද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. සැපද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. දුකද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී.
’’හෙතෙම උපන් ලාභය නොරකී. අලාභයෙන් විරුද්‍ධ නොවෙයි. උපන් යසස නොරකී. අයසෙහි විරුද්‍ධ නොවෙයි. උපන් ප්‍රශංසාව නොරකී. නින්‍දාවෙහි විරුද්‍ධ නොවෙයි. උපන් සැපත නොරකී. දුකෙහි විරුද්‍ධ නොවෙයි.
’’හෙතෙම මෙසේ රැකීම්, විරුද්‍ධවීම් දෙක හෙවත් ඇලීම් ගැටීම් දෙක ප්‍රහීණ කෙළේ, ජාති, ජරා, මරණ, සෝක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාස යන මෙයින් මිදෙයි. (එහෙයින්) දුකින් මිදේයයි කියමි.
’’මහණෙනි, මේ වනාහි, ධර්‍ම විනය නූගත් පෘතග්ජනයාට වඩා ධර්‍ම විනය උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ වෙනසයි. අධිකවූ කරුණුයි. විශෙෂවු කරුණුයි.
’’ ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන මේ සත්ත්‍වයන් කෙරෙහි පවත්නාවූ ලොක ධර්‍ම අට අනිත්‍යයහ. සදාකාලික නොවෙත්. විනාශවන ස්වභාවයෝ වෙත්. යහපත් සිහියෙන් යුක්තවූ ප්‍රඥාවන්ත පුද්ගල තෙම මේ අෂ්ට ලොක ධර්‍ම ස්වභාවයද දැන, අනිත්‍ය ස්වභාව ධර්‍මය දකීද, ඔහුගේ සිත ඉෂ්ටාරමුණුවලින් නොකැළඹෙයි. අනිටු අරමුණුවලින් නොගැටෙයි. (ක්‍රොධ නූපදී.) ඒ ඉෂ්ටාරම්මණය අනුගමනය කිරීමෙන් හෝ (රැක ගැනීමෙන්) එයට විරුද්‍ධ වීමෙන් හෝ විනාශවනු ලබන ආත්ම සහගතවූවක් නැතැයි දැන කෙලෙස් රජසින් තොරවූ නිස්සෝකිවූ (සොක නැත්තාවූ) ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙම නිර්‍වාණ පදය යහපත් ප්‍රඥාවෙන් අවබෝධ කොට භවයාගේ කෙළවරට පැමිණෙන්නේයි.’’