අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(7) 2. චාපාල වර්‍ගය

1. ලාහිච්ඡා සූත්‍රය

’’මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ අට දෙනෙක් ඇත්තාහ.

’’කවර අට දෙනෙක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස ගැටෙයි. වෑයම් කරයි. නැගිටියි. ලාභය පිණිස ගැටෙන්නාවූ, වෑයම් කරන්නාවූ, නැගිටින්නාවූ, ඔහුට ලාභය නූපදියි. හෙතෙම ඒ අලාභයෙන් ශෝකවෙයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත ගසා හඬයි. සිහි මුළා බවට පැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය නොලබන්නේ ශෝක කෙරෙයි. වැළපෙයි. හෙතෙම සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුතවූයේයයි කියයි.

’’මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත්වෙයි. විශෙෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය ඇති මදය හෙවත් ලාභයෙන් මත් ගතිය ඇති, ප්‍රමාදය ඇති ඔහුට ලාභය නූපදියි.

’’මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, නොගැටෙන්නාවූ, වෑයම් නොකරන්නාවූ, ඔහුට ලාභය නූපදියි. ලාභය පිණිස නොනැගිටීද, නොගැටේද, වෑයම් නොකෙරේද, ලාභය නැති, ශෝක ඇති, වැළපීම් ඇති, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය නොලබන්නේ ශෝක කෙරෙයි. වැළපෙයි.

’’මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත්වෙයි. විශෙෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය ඇති මදය හෙවත් ලාභයෙන් මත් ගතිය ඇති, ප්‍රමාදය ඇති හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය ඇති, මදය ඇති, ප්‍රමාදය ඇති, හෙතෙම සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුතවූයේයයි කියයි.

’’මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස ගැටෙයි. වෑයම් කරයි. නැගිටියි. ලාභය පිණිස ගැටෙන්නාවූ, වෑයම් කරන්නාවූ, නැගිටින්නාවූ, ඔහුට ලාභය නූපදියි. හෙතෙම ඒ අලාභයෙන් ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. ලෙහි අත් ගසා නොහඬයි. සිහි මුළා බවට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය නැත්තේ, ශෝක නැත්තේ, වැළපීම් නැත්තේ, සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුත නොවූයේයයි කියයි.

’’මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස ගැටෙයි. වෑයම් කරයි. නැගිටියි. ලාභය පිණිස ගැටෙන්නාවූ, වෑයම් කරන්නාවූ, නැගිටින්නාවූ, ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය ඇති, මදය නැති, ප්‍රමාදය නැති, හෙතෙම සද්ධර්මයෙන්ද චුත නොවූයේයයි කියයි.

’’මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභයෙන් නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, නොගැටෙන්නාවූ, වෑයම් නොකරන්නාවූ, ඔහුට ලාභය නූපදියි. හෙතෙම ඒ අලාභයෙන් ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැළපෙයි. ලෙහි අත් ගසා නොහඬයි. සිහි මුළා බවට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නොනැගිටීද, නොගැටේද, වෑයම් නොකෙරේද, ලාභය නැති, ශොක නැති, වැළපීම් නැති, හෙතෙම සද්ධර්මයෙන්ද චුත නොවූයේයයි කියයි.

’’මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, නොගැටෙන්නාවූ, වෑයම් නොකරන්නාවූ, ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නොනැගිටීද, නොගැටේද, වෑයම් නොකෙරේද, ලාභ ඇති, මත් ගතිය නැති, ප්‍රමාදය නැති, හෙතෙම සද්ධර්මයෙන්ද චුත නොවූයේයයි කියයි. මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙන ලෝකයෙහි ඇත්තාහ.’’