ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
3. තික නිපාතය
1. මාරධෙය්‍ය වර්ගය
3. වේදනාත්තය සූත්‍රය
“මහණෙනි, මේ වේදනාවෝ තුන්දෙනෙක් වෙති. කවර තුන්දෙනෙක්ද යත්? සැප වේදනාවය, දුඃඛ වේදනාවය, උපෙක්ෂා වේදනාවය (යන තුනය.) මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ වේදනාවෝ වෙත්යයි”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“බුදුරජුන්ගේ මනාකොට දන්නාවූ සිහි ඇත්තාවූ ශ්‍රාවකතෙමේ වේදනාවන්ද වේදනාවන්ගේ ඉපදීමද වේදනාවෝ මෙතෙකැයිද විශෙෂයෙන් දනී.
“යම් අරමුණෙක්හි වෙදනාවෝ නිරුද්ධ වෙද්ද, වෙදනාවන් ක්ෂය කිරීමට පමුණුවන්නාවූ (ආර්ය) මාර්ගයද දනී. (රහත්) මහණ තෙම වෙදනාවන්ගේ ක්ෂය කිරීමෙන් (ප්‍රහීණවූ) තෘෂ්ණාව ඇත්තේ ක්ලෙශපරිනිර්වාණයෙන්ද ස්කන්ධපරිනිර්වාණයෙන්ද පිරිනිවියේ වේයයි”