සංයුත්තනිකායො
නිදාන වර්ගය
2. අභිසමය සංයුත්තය
5. පඨවි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මහ පොළොවෙන් ඩෙබර ඇට හතක් පමණවූ, මැටිගුළියක් ගෙන, එක් තැනක තබන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ඩෙබර ඇට හතක් පමණවූ, යම් මැටි ගුළියක් ගෙන එක් තැනක තබන ලද්දේ වේද, යම් මේ මහ පොළොවක් වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා අධිකවේද?” “ස්වාමීනි, යම් මේ මහ පොළොවක් වෙයිද, එයම ඉතා අධිකවේ. එක් පැත්තක තබන ලද, ඩෙබර ඇට හතක් පමණවූ මැටි ගුළිය ඉතා ස්වල්පවේ. එක් පැත්තක තබනලද, ඩෙබර ඇට හතක් පමණවූ, මැටි ගුළිය, මහපොළොව හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවරවූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසැඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, එසේම ආර්යශ්‍රාවකයාගේ ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
(පස්වෙනි පඨවි සූත්‍රය නිමි.)