සංයුත්තනිකායො

නිදාන වර්ගය

3. ධාතු සංයුත්තය

4. චතු ධාතු වර්ගය

3. අචරි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි, වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, මම පඨවි ධාතුවේ අස්සාදය (රසවිඳීම) සෙවීමෙහි හැසුරුනෙමි. පඨවි ධාතුවේ යම් අස්සාදයක්වීද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් පඨවි ධාතුවේ අස්සාදයක් වේද, මාගේ ප්‍රඥාවෙන් එය දක්නාලදී. මහණෙනි, මම පඨවි ධාතුවේ ආදීනව (දෝෂ) සෙවීමෙහි හැසුරුනෙමි. පඨවි ධාතුවේ යම් ආදීනවයක් වේද, එය අවබොධ කෙළෙමි. යම්තාක් පඨවි ධාතුවේ ආදීනවයක් වේද, (ඒ තාක්) මාගේ ප්‍රඥාවෙන් එය දැනගන්නා ලදී. මහණෙනි, මම පඨවි ධාතුවේ නිස්සරණය (නිදහස්වීම) සෙවීමෙහි හැසුරුනෙමි. පඨවි ධාතුවේ යම් නිස්සරණයක් වීද, එය අවබොධ කෙළෙමි. යම් තාක් පඨවි ධාතුවේ නිස්සරණයක් වේද, මාගේ ප්‍රඥාවෙන් එය දැන ගන්නා ලදී.

3 ‘මහණෙනි, මම ආපෝ ධාතුවේ අස්සාදය සෙවීමෙහි හැසුරුනෙමි. ආපෝ ධාතුවේ යම් අස්සාදයක් වේද, එය අවබොධ කෙළෙමි. යම්තාක් ආපෝධාතුවේ අස්සාදයක් වීද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දක්නාලදී. මහණෙනි, මම ආපෝ ධාතුවේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. ආපෝ ධාතුවේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ආපෝ ධාතුවේ ආදීනවයක් වේද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දැනගන්නාලදී. මහණෙනි, මම ආපෝ ධාතුවේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ආපෝ ධාතුවේ යම් නිස්සරණයක්වීද, එය අවබොධ කෙළෙමි. යම්තාක් ආපෝ ධාතුවේ යම් නිස්සරණයක් වේද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දැනගන්නාලදී.

“මහණෙනි, මම තේජෝ ධාතුවේ අස්සාදය සෙවීමෙහි හැසුරුනෙමි. තේජෝ ධාතුවෙහි යම් අස්සාදයක් වේද, එය අවබොධ කෙළෙමි. යම්තාක් තේජෝ ධාතුවේ අස්සාදයක් වීද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දක්නාලදී. මහණෙනි, මම තේජෝ ධාතුවේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. තේජෝ ධාතුවේ යම් ආදීනවයක් වේද, එය අවබොධ කෙළෙමි. යම්තාක් තේජෝ ධාතුවේ ආදීනවයක් වේද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දැනගන්නාලදී. මහණෙනි, මම තේජෝ ධාතුවේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. තේජෝධාතුවේ යම් නිස්සරණයක් වීද, එය අවබොධ කෙළෙමි. යම්තාක් තේජෝ ධාතුවේ නිස්සරණයක් වේද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දැනගන්නාලදී.

“මහණෙනි, මම වායෝ ධාතුවේ අස්සාදය සෙවීමෙහි හැසුරුනෙමි. වායෝ ධාතුවේ යම් අස්සාදයක් වේද, එය අවබොධ කෙළෙමි. යම්තාක් වායෝ ධාතුවේ අස්සාදයක් වීද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දක්නාලදී. මහණෙනි, මම වායෝ ධාතුවේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. වායෝ ධාතුවේ යම් ආදීනවයක් වේද, එය අවබොධ කෙළෙමි. යම්තාක් වායෝ ධාතුවේ ආදීනවයක් වේද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දැනගන්නාලදී. මහණෙනි, මම වායෝ ධාතුවේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. වායෝ ධාතුවේ යම් නිස්සරණයක් වීද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් වායෝ ධාතුවේ නිස්සරණයක් වේද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දැනගන්නාලදී.

“මහණෙනි, මම යම්තාක් කල් මේ සතර ධාතූන්ගේ අස්සාදය අස්සාදය වශයෙන්ද, ආදීනව ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, ඇතිසේ දැන නොගත්තෙම්ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, දෙවිමිනිසුන් සහිත, ප්‍රජාව සහිත, ලෝකයෙහි අතිඋතුම් සම්‍යක් සම්බෝධියට නොපැමිණියෙම්යයි දැනනොගත්තෙමි. මහණෙනි, යම් තැනක පටන් මම මේ සතර ධාතූන්ගේ අස්සාදය අස්සාදය වශයෙන්ද, ආදීනව ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, ඇතිසේ දැනගත්තෙම්ද, මහණෙනි, ඉක්බිති, මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව සහිත, ලෝකයෙහි අතිඋතුම් සම්‍යක් සම්බෝධියට පැමිණියෙම්යයි දැනගත්තෙමි. මාහට ප්‍රත්‍යවෙක්ෂා ඥානයෙන් දැකීම්ද පහළවිය. මාගේ අර්හත්ඵල සමාධිය කම්පා නොකළ හැකිය යන ඥානය පහළවිය. මේ අන්තිම ජාතියයි. දැන් නැවත ඉපදීමක් නැත්තේය.”

(තුන්වෙනි අචරි සූත්‍රය නිමි.)