සංයුත්තනිකායො
නිදාන වර්ගය
7. රාහුල සංයුත්තය
2. දෙවැනි වර්ගය
12. අපගත සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක.
ඉක්බිති ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් රාහුල මහණතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය කීයේය.
“ස්වාමීනි, කෙසේ දන්නහුට, කෙසේ දක්නහුට වනාහි මේ විඤ්ඤාණය සහිත කයෙහිද, බාහිරවූ (පිටස්තරවූ) සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක කයෙහිද යන සියලු නිමිතිවල මමයයි ගන්නා දෘෂ්ටියෙනුත්, මාගේයයි ගන්නා තණ්හාවෙනුත් මානයෙනුත් පහවූ මාන කොට්ඨාශයන් ඉක්මවූ, ශාන්තවූ, මනාකොට මිදුනාවූ, සිත ඇතිවෙයිද?”
“රාහුලය, අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි රූපයක්වේද, (ඒ) සියලු රූපය මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය ඇති පරිදි විදර්‍ශනාප්‍රඥාවෙන් හා මාර්ගප්රඥාවෙන් මනාකොට දැක, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයි.
“අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූ ද යම්කිසි වේදනාවක් වේද, (ඒ) සියලු වේදනාව මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් හා මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දැක, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයි.
“අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි සංඥාවක් වේද, (ඒ) සියලු සංඥාව මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් හා මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දැක, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයි.
“අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි සංස්කාරයක් වේද, (ඒ) සියලු සංස්කාර මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් හා මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දැක, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයි.
“අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි විඤ්ඤාණයක් වේද, (ඒ) සියලු විඤ්ඤාණය මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් හා මාර්ග ප්‍රඥාවෙන් දැන මනාකොට දැක, (තණ්හාදී වශයෙන්) දැඩිකොට නොගැනීමෙන් මිදුනේ වෙයි.
“රාහුලය, මෙසේ දන්නහුට, මෙසේ දක්නහුට වනාහි විඤ්ඤාණය සහිත කයෙහිද, බාහිරවූ සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක කයෙහිද යන සියලු නිමිතිවල මමයයි ගන්නා දෘෂ්ටියෙන්ද, මාගේයයි ගන්නා තණ්හාවෙන්ද, මානයෙන්ද පහවූ, මාන කොට්ඨාසයන් ඉක්මවූ, ශාන්තවූ, මනාකොට මිදුනාවූ මනස ඇතිවේයයි වදාළසේක.”
(දොළොස්වෙනි අපගත සූත්‍රය නිමි.)
දෙවෙනි වර්ගය නිමි.
චක්ඛු සූත්‍රය, රූප සූත්‍රය, විඤ්ඤාණ සූත්‍රය, සම්ඵස්ස සූත්‍රය, වේදනා සූත්‍රය, සඤ්ඤා සූත්‍රය, සඤ්චෙතනා සූත්‍රය, තණ්හා සූත්‍රය, ධාතු සූත්‍රය, ඛන්ධ සූත්‍රය, අනුසය සූත්‍රය සහ අපගත සූත්‍රයයි කියා මේ වර්ගයෙහි සූත්‍ර දොළොසකි.
රාහුල සංයුත්තය නිමි.