සංයුත්තනිකායො
නිදාන වර්ගය
7. රාහුල සංයුත්තය
1. පළමුවන වර්ගය
3. විඤ්ඤාණ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
ඉක්බිති ආයුෂ්මත් ‘රාහුල’ මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේහට මෙය කීයේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දහම් දෙසන සේක් නම් යෙහෙකි. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව, වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවන කරා යවන ලද සිත් ඇතිව, වාසය කරන්නෙමියි” කියායි.
‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘ඝාණ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි එය නුසුදුසුය.’
‘ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘මනෝ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූතැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම චක්ඛු විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. සෝත විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ඝාණ විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. කාය විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝ විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙන්නේය. (ක්ලේශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලේශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිම කරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළයුත්තක් නැතැයි දැනගනියි.’
(තුන්වෙනි විඤ්ඤාණ සූත්‍රය නිමි.)