සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
12. ධර්මකථික වර්ගය
13. කප්ප සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් කප්ප ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත් පසෙක සිටි ආයුෂ්මත් කප්ප ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.
“ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ භික්ෂුවට මේ විඤ්ඤාණය සහිතවූ කයෙහිද, බාහිරවූ සියලු ආරම්මණයන්හිද, මමය, මගේය යන දෘෂ්ටියද, මානයද දුරුවූ මාන කොටස් ඉක්ම ගියාවූ, ශාන්තවූ, කෙලෙසුන් කෙරෙන් හොඳින් මිදුණාවූ, සිතක් වෙයිද,
“කප්පය, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූපය ‘මෙය මාගේ නොවේ. මම නොවෙමි. මගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්ත්වාකාරයෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් අල්වානොගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයිද,
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ කිසියම් වේදනාවක් වේද, ඒ සියලු වේදනාව ‘මෙය මගේ නොවේය. මම නොවෙමි. මගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණා, දෘෂ්ටීන්ගේ වශයෙන් අල්වානොගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයිද,
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ කිසියම් සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මෙය මගේ නොවේය, මම නොවෙමි, මගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දැක තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් අල්වා නොගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයිද,
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ කිසියම් සංස්කාරයක්වේද, ඒ සියලු සංස්කාරය ‘මෙය මාගේ නොවේය, මම නොවෙමි, මගේ ආත්මය නොවේයයි’ මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දැක, තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් අල්වානොගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයිද,
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ කිසියම් විඥානයක් වේද ඒ සියලු විඥානය ‘මෙය මගේය, මම නොවේ. මගේ ආත්මය නොවේ’ යයි තත්වාකාරයෙන් යහපත් ප්‍රඥාවෙන් දැක, තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙයිද, කප්පය මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, භික්ෂුවට විඤ්ඤාණය සහිතවූ මේ කයෙහිද, බාහිර සියලු ආරම්මණයන්හිද අහංකාරය, මමත්වය (මාගේ යයි සිතීම) සහ මානය යන කෙලෙසුන් කෙරෙන් දුරුවූ මානය ඉක්ම ගියාවූ, ශාන්තවූ, කෙලෙසුන් කෙරෙන් හොඳින් මිදුනාවූ වේයයි වදාළේය.
(දහතුන්වෙනි කප්ප සූත්‍රය නිමි.)
ධර්ම කථික වර්ගය නිමි
භික්ෂූ සූත්‍ර දෙකද, කථික සූත්‍ර දෙකද, බන්ධන සූත්‍රයද, පරිමුච්චිත සූත්‍ර දෙකද, සඤ්ඤොජන සූත්‍රයද, උපාදාන සූත්‍රයද, සීල සූත්‍රයද, සුතවා සූත්‍රයද, කප්ප සූත්‍ර දෙකදැයි මේ වර්ගයට සූත්‍ර දහතුනක් වේ.