සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

2. අනිත්‍ය වර්ගය

5. යංදුක්ඛ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය දුකය. යමක් දුක නම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවෙයි. යන මෙය මෙසේ තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. වේදනාව දුකය යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි. සඤ්ඤාව දුකය. යමක් දුක නම් එය අනාත්මය. යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුයි.

සංස්කාර දුකය. යමක් දුකනම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි තත්වාකාරයෙන් යහපත් නුවණින් දතයුතුය. විඤ්ඤාණය දුකය යමක් දුකනම් එය අනාත්මය, යමක් අනාත්ම නම් එය මාගේ නොවෙයි. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි මෙසේ එය ඇතිසැටියෙන් යහපත් නුවණින් දතයුතුයි.

“මහණෙනි, මෙසේ දකින්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන්හිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනුකල්හි මිදුනේය යන දැනීම ඇතිවෙයි. ජාතිය (ඉපදීම) ක්ෂයවිය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.

(පස්වෙනි යංදුක්ඛ සූත්‍රය නිමි.)