සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

2. අනිත්‍ය වර්ගය

10. ආනන්ද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, නිරොධය නිරොධයයි කියයි. කවර ධර්මයන්ගේ නිරොධයෝ නිරොධයයි කියනු ලැබේද?” යනුයි.

“ආනන්දය, රූපය අනිත්‍යය, හේතු ප්‍රත්‍යයන් විසින් ඇතිකරනලදී. හේතුප්‍රත්‍ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාවකොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ඒ රූපයාගේ නිරොධයෙන් නිරොධයයි කියනු ලැබේ.

“වේදනාව අනිත්‍යය. හේතුප්‍රත්‍යයන් විසින් ඇති කරනලදී. හේතුප්‍රත්‍ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාවකොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ වේදනාවගේ නිරොධයෙන් නිරොධයයි කියනු ලැබේ.

“සඤ්ඤාව අනිත්‍යය හේතුප්‍රත්‍යයන් විසින් ඇතිකරන ලදී. හේතු ප්‍රත්‍ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාව කොට ඇත්තේය. විනාශ වීම ස්වභාවකොට ඇත්තේය නොඇලීම ස්වභාව කොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ සංඥාවේ නිරෝධයෙන් නිරෝධයයි කියනු ලැබේ.

“සංස්කාරය අනිත්‍යය. හේතුප්‍රත්‍යයන් විසින් ඇති කරනලදී. හේතුප්‍රත්‍යය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාව කොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාව කොට ඇත්තේය. ඒ සංස්කාරයාගේ නිරොධයෙන් නිරොධයයි කියනු ලැබේ.

“විඤ්ඤාණය අනිත්‍යය, හේතු ප්‍රත්‍යයන් විසින් ඇති කරන ලදී. හේතුප්‍රත්‍ය ධර්මයන් නිසා හටගත්තේය. නැසීම ස්වභාවකොට ඇත්තේය. විනාශවීම ස්වභාවකොට ඇත්තේය. නොඇලීම ස්වභාවකොට ඇත්තේය. නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේය. ඒ විඤ්ඤාණයාගේ නිරොධයෙන් නිරොධයයි කියනු ලැබේ. “ආනන්දය, මෙසේ මේ ධර්මයන්ගේ නිරොධය නිරොධයයි කියනු ලැබේ.”

(දහවෙනි ආනන්ද සූත්‍රය නිමි.)

දෙවෙනිවූ අනිත්‍ය වර්ගයයි.

අනිච්ච දුක්ඛ අනත්ත යන සූත්‍ර තුනද, අන්‍යවූ යදනිච්ච යංදුක්ඛ යදනත්ත යන සූත්‍ර තුනද, හේතූ සූත්‍ර තුනද වදාළහ. ආනන්ද සූත්‍රයෙන් වර්ගය සම්පූර්ණ විය.