සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
9. ථෙර වර්ගය
1. ආනන්ද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ‘ඇවැත්නි’ කියා භික්ෂූහු ඇමතුවේය. ‘ඇවැත්නි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයනට උත්තර දුන්හ. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භික්ෂූන්ට මෙසේ වදාළ සේක.
“ඇවැත්නි, මන්තාණි නම් බැමිණියගේ පුත්‍රවූ ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයෝ නවකවූ ම අපට බොහෝ උපකාර ඇත්තාහුවෙති. ඔහු අපට මේ අවවාදයෙන් අවවාද කෙරෙති.
“ඇවැත්, ආනන්ද ස්ථවිරයෙනි, (තණ්හා - මාන - දිට්ඨි වසයෙන් තදින් අල්ලාගැනීම) නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇතිවෙයි. එසේ අල්ලා නොගැනීම නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති නොවෙයි. කුමක් වනාහි (තණ්හා - මාන - දිට්ඨි වසයෙන් තදින් අල්ලා ගැනීම නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇති වෙයිද? කුමක් වනාහි එසේ අල්ලා නොගැනීම නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති නොවෙයිද?
“රූපය (තණ්හා - මාන - දිට්ඨි වසයෙන් තදින් අල්ලා ගැනීම) නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇතිවෙයි. රූපය එසේ අල්ලා නොගැනීම නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇති නොවෙයි.
“වේදනාව (තණ්හා - මාන - දිට්ඨි වසයෙන් තදින් අල්ලා ගැනීම නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇති වෙයි. වේදනාව එසේ අල්ලා නොගැනීම නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇති නොවෙයි.
“සංඥාව (තණ්හා - මාන - දිට්ඨි වසයෙන් තදින් අල්ලා ගැනීම) නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇති වෙයි. සංඥාව එසේ අල්ලා නොගැනීම නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇතිනොවෙයි.
“සංස්කාර (තණ්හා - මාන - දිට්ඨි වසයෙන් තදින් අල්ලා ගැනීම) නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇතිවෙයි. එසේ අල්ලා නොගැනීම නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති නොවෙයි.
“විඤ්ඤාණය (තණ්හා - මාන - දිට්ඨි වසයෙන් තදින් අල්ලා ගැනීම) නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇති වෙයි. එසේ අල්ලා නොගැනීම නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇති නොවෙයි.
“ඇවැත්, ආනන්ද ස්ථවිරයෙනි, එපරිද්දෙන්ම (තණ්හා -මාන - දිට්ඨි වසයෙන් තදින් අල්ලා ගැනීම නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇතිවෙයි. එසේ අල්ලා නොගැනීම නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇති නොවෙයි. කුමක් වනාහි (තණ්හා -මාන - දිට්ඨි වසයෙන් තදින් අල්ලා ගැනීම නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇතිවෙයිද? කුමක් වනාහි එසේ අල්ලා නොගැනීම නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇති නොවෙයිද?
“රූපය (තණ්හා - මාන - දිට්ඨි වසයෙන් තදින් අල්ලා ගැනීම) නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇතිවෙයි. රූපය එසේ අල්ලා නොගැනීම නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇති නොවෙයි.
“වේදනාව (තණ්හා - මාන - දිට්ඨි වසයෙන් තදින් අල්ලා ගැනීම, නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇතිවෙයි වේදනාව එසේ අල්ලා නොගැනීම නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇතිනොවෙයි.
“සංඥාව (තණ්හා - මාන - දිට්ඨි වසයෙන් තදින් අල්ලා ගැනීම) නිසා. ‘මම වෙමි’ යන හැඟීම ඇතිවෙයි සංඥාව එසේ අල්ලා නොගැනීම නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇති නොවෙයි.
“සංස්කාර (තණ්හා - මාන - දිට්ඨි වසයෙන් තදින් අල්ලා ගැනීම) නිසා ‘මම වෙමි’ යන හැඟීම ඇතිවෙයි. එසේ අල්ලා නොගැනීම නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇති නොවෙයි.
“විඤ්ඤාණය (තණ්හා - මාන - දිට්ඨි වසයෙන් තදින් අල්ලා ගැනීම) නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇතිවෙයි. එසේ අල්ලා නොගැනීම නිසා, ‘මම වෙමි’ යන හැඟීම ඇති නොවෙයි.
“ඇවැත් ආනන්දස්ථවිරයෙනි, ඒ කුමැයි හඟින්නෙහිද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” “ඇවැත්නි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යය වේ නම්, ඒ සැප හෝ දුක හෝ වේද?” - ‘ඇවැත්නි, දුකය.’
“යමක් වනාහි අනිත්‍යය වේද, දුක් වේද, පෙරලෙන ස්වභාව ඇත්තේ වේද, ‘මේ රූපය මාගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි’ ඒ රූපය මනාව බලන්නට සුදුසු වේද?” - “ඇවැත්නි, ඒ නුසුදුසුය.”
“වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ඇවැත්නි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය සැප හෝ දුක හෝ වේද?” -“ඇවැත්නි, දුකය.”
“යමක් අනිත්‍යය වේද, දුක් වේද, පෙරලෙන ස්වභාව ඇත්තේ වේද, එය මාගේය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි මේ වේදනාව මනාව දක්නට සුදුසු වේද?” - “ඇවැත්නි, නුසුදුසු වේමය.
“සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ඇවැත්නි, අනිත්‍යය.”
“යමක් අනිත්‍යද එය සැප හෝ දුක් හෝ වේද?” - “ඇවැත්නි, දුක්වේය.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්වේද, පෙරළෙන ස්වභාව ඇත්තේ වේද එය මේ සංඥාව මගේය, මේ මම වෙමි. මේ මාගේ ආත්මයයි මනාව දක්නට සුදුසු වේද?” - “ඇවැත්නි, නුසුදුසු වේමය.”
“සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ඇවැත්නි, අනිත්‍යයයි.”
“යමක් අනිත්‍ය වේද, එය දුක් හෝ සැප හෝ වේද” -“ඇවැත්නි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එය මේ සංස්කාරයෝ මගේය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම’යයි මනාව දක්නට සුදුසු වේද?” - “ඇවැත්නි, (සුදුසු) නොවේමය.”
“විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ඇවැත්නි, අනිත්‍යයයි.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” -“ඇවැත්නි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යද, දුක්ද, පෙරලෙන ස්වභාව ඇත්තේද, එය ‘මේ විඤ්ඤාණය මගේය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම’යයි මනාව දක්නට සුදුසු වේද?” - “ඇවැත්නි, සුදුසු නොවේමය.”
“ඇවැත් ආනන්ද ස්ථවිරයෙනි, එහෙයින් මේ ලෝකයෙහි අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි රූපයෙක් වේද, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ යම් රූපයක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් වේද, ඒ සියලු රූපය මේ රූපය මාගේ නොවේය. මේ මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේ’යයි මේ රූපය මෙසේ තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි.
“තමා පිළිබඳවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමාන වූද යම්කිසි වේදනාවක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් වේදනාවක් වේද, ඒ සියලු වේදනාව ‘මේ වේදනාව මාගේ නොවේය, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ මේ වේදනාව සම්‍යක් ප්‍රඥාවෙන් තත්වූ පරිද්දෙන් දත යුතුය.
“තමා කෙරෙහි පවත්නාවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත වූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංඥාවක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් සංඥාවක් වේද, ඒ සියලු සංඥාව ‘මේ සංඥාව මාගේ
නොවේය, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේයයි මෙසේ මේ සංඥාව තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“තමා පිළිබඳවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි සංස්කාරයෝ වෙද්ද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් සංස්කාරයෝ වෙද්ද, ඒ සියලු සංස්කාර සමූහය ‘මගේ නොවේය, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ’ යයි මෙසේ මේ සංස්කාරය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“තමා පිළිබඳවූ හෝ අනුන් පිළිබඳවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම්කිසි විඤ්ඤාණයෙක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් විඤ්ඤාණයෙක් වේද, ඒ සියලු විඤ්ඤාණය ‘මේ විඥානය මගේ නොවේ, මේ (මම) නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ” යයි මෙසේ මේ විඤ්ඤාණය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය.
“ඇවැත් ආනන්ද ස්ථවිරයෙනි, මෙසේ දක්නාවූ ඇසූ පිරූ තැන් ඇති ආර්යශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි. කලකිරුණේ නො ඇලෙයි, නොඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදුනේවෙයි. එවිට (කෙලෙසුන්ගෙන්) මිදුනෙමියි (ප්රත්යවෙක්ෂා) ඥානය ඇතිවෙයි.
“ඉපදීම ක්ෂයවූවාය, (මාර්ග) බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. (සතර අරිමගින් කටයුතු) කෘත්‍යය කොට නිමවන ලද්දේය. මේ අර්හත්ඵලය පිණිස අනිකක් නැතැයි කියායි, ඇවැත්නි, මන්තානියගේ පුත්වූ ආයුෂ්මත් පුණ්ණ ස්ථවිර තෙමේ අලුත්වූම අපට මේ අවවාදයෙන් අවවාද කෙරෙයි. මන්තානියගේ පුත්වූ ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන්ගේ මේ ධර්මදෙශනාව අසා මා විසින් චතුස්සත්‍ය ධර්මය නුවණින් අවබෝධ කරන ලද්දේය.”
(පළමුවෙනි ආනන්ද සූත්‍රය නිමි.)