සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
9. ථෙර වර්ගය
4. අනුරාධ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර සමීපයෙහිවූ මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් අනුරාධ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි ආරන්ය කුටියක වෙසෙයි.
ඉක්බිති බොහෝ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ආයුෂ්මත් අනුරාධ භික්ෂුව යම්තැනෙකද, එතැනට පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් අනුරාධ භික්ෂුව සමග සතුටුවූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාවකොට නිමවා එක්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නාවූ අන්‍යතීර්ථකයෝ ආයුෂ්මත් අනුරාධ භික්ෂුවට මෙය කීහ.
“ඇවැත් අනුරාධයෙනි, යමෙක් තථාගතවෙයිද, උතුම් පුරුෂයා වෙයිද, පරම පුරුෂයා වෙයිද, උතුම් පැමිණීමට පැමිණි තැනැත්තෙක් වෙයිද, ඒ තොපගේ ශාස්තෲවූ තථාගත තෙමේ සත්ත්වයා පිළිබඳ මේ කරුණු සතර පනවයි.
“සත්වතෙම මරණින් මත්තෙහි වේයයිද, සත්වතෙම මරණින් මත්තෙහි නොවේයයිද, සත්වතෙම මරණින් මත්තෙහි වේයයිද නොමවේයයිද, සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි නොවන්නේද, නොවේයයිද යන සතරය.”
මෙසේ කී කල්හි ආයුෂ්මත් අනුරාධ භික්ෂුතෙම ඒ අන්‍යතීර්ථකයන්ට මෙසේ කීය.
“ඇවැත්නි, යමෙක් තථාගතවූයේද, උතුම් පුරුෂයා වූයේද, පරම පුරුෂයා වූයේද, උතුම් පැමිණීමට පැමිණියේ වේද, ඒ ශාස්තෲවූ තථාගතයන් මරණින් මත්තෙහි සත්වතෙම වේයයි කියා හෝ සත්වතෙම මරණින් මත්තෙහි නොවේයයි කියා හෝ සත්වතෙම මරණින් මත්තෙහි වෙයි, නොම වෙයි කියා හෝ සත්වතෙම මරණින් මත්තෙහි නොම වෙයි, නොවන්නේ නොවෙයි කියා හෝ (යන) මේ සතර කරුණෙන් අන් ආකාරයක්ම පණවන සේක.
මෙසේ කී කල්හි ඒ අන්‍ය තීර්ථකයෝ ආයුෂ්මත් අනුරාධ භික්ෂුවට ‘මේ භික්ෂුතෙම අලුත පැවිදිවූ නවක භික්ෂුවක් වන්නේය. නොහොත් අඥානවූ අව්‍යක්තවූ ස්ථවිරයෙක් වන්නේයයි” කීහ. ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ආයුෂ්මත් අනුරාධ භික්ෂුවට නවක වාදයෙන්ද, බාල වාදයෙන්ද, ගරහා හුනස්නෙන් නැගිට ගියාහුය.
ඉක්බිති ඒ අන්‍ය තීර්ථකයන් ගිය නොබෝ කල්හි ආයුෂ්මත් අනුරාධ භික්ෂුවට මෙබඳු අදහසෙක් විය. ඉදින් වනාහි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මත්තෙහි මාගෙන් ප්‍රශ්න අසන්නාහුනම් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට කෙසේ විසඳන්නාවූ මම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්ද කියන්නෙක් වෙම්ද? භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයෙන් අභිබවා නොකියන්නෙක් වෙම්ද, ලොකොත්තර ධර්මයට අනුකූල ධර්මයන් ප්‍රකාශ කරන්නෙම්ද, කරුණු සහිතවූ කිසියම් වාදයක් ගැරහිය යුතු කරුණකට නොම පැමිණෙන්නේද කියායි.
ඉක්බිති ආයුෂ්මත් අනුරාධ භික්ෂුතෙමෙ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් අනුරාධ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු කීයේය.
“ස්වාමීනි, මේ මහවෙනෙහි භාග්‍යවතුන් වහන්සේට සමීපයෙහි වන කුටියක වාසය කරමි. ස්වාමීනි එකල්හි බොහෝ අන්‍ය තීර්ථකයෝ මම යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහ. පැමිණ මා සමග සතුටුවූහ. සතුටුවිය යුතු සිහි කටයුතු කථාවකොට නිමවා එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මට මේ කරුණ කීහ.
‘ඇවැත් අනුරාධයෙනි, යමෙක් තථාගතවූ උත්තම පුරුෂවූ පරම පුරුෂවූ උතුම් පැමිණීමට පැමිණියාවූ යම් ඒ තථාගතවරයෙක්වේද, ඒ (තොපගේ) තථාගතයන් වහන්සේ සත්වයා පිළිබඳ මේ කරුණු සතර පනවයි.
‘සත්වතෙම මරණින් මත්තෙහි වෙයි. සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. සත්වතෙම මරණින් මත්තෙහි වන්නේත් වෙයි. නොවන්නේත් වෙයි. සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේත් නොවෙයි’ (කියායි.)
“ස්වාමීනි, මෙසේ කියන ලද්දාවූ මම ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙය කීමි. ‘ඇවැත්නි, යමෙක් තථාගතවූ උත්තම පුරුෂවූ, පරම පුරුෂවූ උතුම් තැනට පැමිණි යම් ඒ තථාගත කෙනෙක් වෙද්ද ඒ තථාගතයන් වහන්සේ සත්වයා මේ සතර කරුණෙන් නොපමුණවත්.
‘සත්වතෙම මරණින් මත්තෙහි වෙයි. සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. සත්වතෙම මරණින් මත්තෙහි වන්නේත් වෙයි, නොමවන්නේත් වෙයි, සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි, නොවන්නේත් නොවෙයි’ කියායි.
“ස්වාමීනි, මෙසේ කී කල්හි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මට මෙසේ කීහ. ‘මේ මහණතෙම අලුත පැවිදිවූ නවකයෙක් වන්නේය. නැතහොත් අඥානවූ අව්‍යක්තයෙක් වන්නේය’ කියායි. ස්වාමීනි, ඉක්බිති ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මට නවකවාදයෙන්ද, බාල වාදයෙන්ද, නින්දාකොට හුනස්නෙන් නැගිට බැහැර ගියාහුය.
“ස්වාමීනි, ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් ගිය කල්හි ඒ මට මෙබඳු අදහසෙක් විය. ‘ඉදින් වනාහි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මත්තෙහි මා අතින් ප්‍රශ්න අසන්නාහුනම් ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයනට කෙසේ විසඳන්නාවූ මම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්ද කියන්නෙක් වෙම්ද, භාග්‍යවතුන් වහන්සේට අසත්‍ය වචනයෙන් මැඩ නොකියන්නෙම්ද, ධර්මයට අනුකූල ධර්මය කියන්නෙම්ද, කරුණු සහිතවූ කිසිවාදයක් ගැරහියයුතු බවට නොපැමිණෙන්නේද” (යනුයි.)
“අනුරාධය, ඒ කුමැයි සිතන්නෙහිද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍යය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද, ඒ දුක හෝ සැප හෝ වේද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යය වේද, දුක් වේද, පෙරළෙන ස්වාභාව ඇත්තේ වේද, ‘එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්ම’යයි එය දක්නට සුදුසුද?” - “ස්වාමීනි, එය දක්නට සුදුසු නොවේමය.”
‘වේදනාව නිත්‍ය හෝ වේද, අනිත්‍යය හෝ වේද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය වේද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, ‘එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්ම’යයි දක්නට සුදුසුද?” - “ස්වාමීනි. එය සුදුසු නොවේමය.”
“සංඥාව නිත්‍ය හෝ වේද අනිත්‍ය හෝ වේද” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යම් ඒ සංඥාවක් අනිත්‍යය වේද, එය දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍ය වේද, දුකවේද, පෙරලෙන ස්වභාවඇත්තේ වේද, ‘එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්ම’යයි ඒ සංඥාව දක්නට සුදුසුද?” - “ස්වාමීනි, සුදුසු නොවේමය.”
“සංස්කාරයෝ නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය වේද? ඒ දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යවේද, දුකවේද, පෙරලෙන ස්වාභාව ඇත්තේ වේද? ‘එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්ම’යයි දක්නට සුදුසුද?” - “ස්වාමීනි, සුදුසු නොවේමය.”
“විඤ්ඤාණය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය වේද, ඒ දුක හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යවේද, දුක වේද, පෙරලෙන ස්වාභව ඇත්තේ වේද? එය මාගේය. එය මම වෙමි. එය මාගේ’ ආත්ම’යයි දක්නට සුදුසුද” - “ස්වාමීනි, සුදුසු නොවේමය.”
“එහෙයින් අනුරාධය, අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි රූපයක් වේද, ‘ඒ සියලු රූපය මාගේ නොවේ. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි වේදනාවක් වේද, ‘ඒ සියලු වේදනා මාගේ නොවේ, ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංඥාවක් වේද, ‘ඒ සියලු සංඥාව මාගේ නොවේ, ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංස්කාරයක් වේද, ‘ඒ සියලු සංස්කාර මාගේ නොවේ. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේ’යයි මෙසේ තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුය.
“අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි විඥානයෙක් වේද, ‘ඒ සියලු විඥාන මාගේ නොවේ, ඒ මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේ”යයි මෙසේ තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුය.
“මෙසේ දක්නාවූ ආර්ය ශ්‍රාවකතෙම රූපයෙහිද කලකිරේ, වේදනාවෙහිද කලකිරේ, සංඥාවෙහිද කලකිරේ, සංස්කාරයන්හිද කලකිරේ, විඤ්ඤාණයෙහිද කලකිරේ, කලකිරුණේ නොඇලේ, නොඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදේ, මිදුණු කල්හි “මිදුණේයයි (ප්රත්යවෙක්ෂා) ඥානයවේ. ජාතිතොමෝ ක්ෂයවූවාය, බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. කටයුතු කරන ලද්දේය. මේ රහත් බව පිණිස කළයුතු අනිකක් නැතැ”යි දැනගනියි.
“අනුරාධය, ඒ කුමැයි හඟිනෙහිද? රූපය සත්වයා යයි දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”
“වේදනාව සත්වයායයි දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”
“සංඥාව සත්වයායි දක්නෙහිද?” - “ස්වාමීනි. එසේ නොවේමය.”
“සංස්කාරයන් සත්වයායයි දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”
“විඥානය සත්වයායයි දක්නෙහිද?” - “ස්වාමීනි. එසේ නොවේමය.”
“අනුරාධය, ඒ කුමැයි සිතන්නෙහිද? රූපයෙහි සත්වයා ඇතැයි දක්නෙහිද?” - “ස්වාමීනි එසේ නොවේමය.”
“රූපයෙන් වෙන්ව සත්වයාවේයයි දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”
“වේදනාවෙහි සත්වයාවේයයි දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”
“වේදනාවෙන් පිටත්හි සත්වතෙම වේයයි දක්නෙහිද?” -“ස්වාමීනි, එසේ නොවේමය.”
“සංඥාවෙහි සත්වතෙම දක්නෙහිද?” “ස්වාමීනි, නොවේමය.”
“සංඥාවෙන් අන්තැනෙක්හි සත්වතෙම වේයයි දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”
“සංස්කාරයෙහි සත්වතෙම දක්නෙහිද?” -“ස්වාමීනි, නොවේමය.”
“සංස්කාරයන්ගෙන් අන් තැනෙක්හි සත්වයාවේයයි දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”
“විඥානයෙහි සත්වතෙම දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”
“විඥානයෙන් වෙන්ව සත්වයා දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”
“අනුරාධය, ඒ කුමැයි සිතන්නෙහිද?” - “රූපය, වේදනාවය, සංඥාව, සංස්කාරය, විඥානය සත්වයායයි දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”
“අනුරාධය, ඒ කුමැයි හඟින්නෙහිද? මේ ඒ රූප නැත්තේ වේදනාව නැත්තේ, සංඥාව නැත්තේ, සංස්කාරය නැත්තේ, විඥානය නැත්තේ සත්වයායි දක්නෙහිද?” - “ස්වාමීනි, එසේ නොවේමය.”
“අනුරාධය, මෙහි තා විසින් මේ ආත්මයෙහිම සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් සත්වයකු නොලැබිය හැකි කල්හි ‘ඇවැත්නි, උත්තම පුරුෂවූ, අතිපරම පුරුෂවූ, උතුම් නිවනට පැමිණියාවූ යම් ඒ තථාගතවරයෙක්, වේද, ඒ තථාගතතෙමේ ‘සත්වතෙම මරණින් මත්තෙහි වේ’යයි හෝ ‘සත්වතෙම මරණින් මත්තෙහි නොවේයයි හෝ සත්වතෙම මරණින් මත්තෙහි වෙයි.’ නොම වෙයි, හෝ සත්වතෙම මරණින් මත්තෙහි නොමවෙයි. නොවන්නේ නොවේයයි, හෝ යන මේ සතර කරුණෙන් වෙන්ව පනවන්නේයි තාගේ ඒ ප්‍රකාශය සුදුසුද?” - “ස්වාමීනි, මේ ප්‍රකාශය සුදුසු නොවේ.”
“මැනවි. මැනවි අනුරාධය, අනුරාධය. මම පෙරද, දැනුදු, දුකද පනවමි. දුක්ඛයාගේ නිරෝධයද පනවමි.”
(සතරවැනි අනුරාධ සූත්‍රය නිමි.)