සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

2. රාධ සංයුත්තය

2. දෙවෙනි වර්ගය

7. අනත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.

“ස්වාමීනි, ‘අනාත්මය, අනාත්මයයි’ කියනු ලැබේ. ස්වාමීනි අනාත්මය කවරේද?”

“රාධය, රූපය අනාත්මය නම්වේ. වේදනාව අනාත්මය නම්වේ. සංඥාව අනාත්මය නම්වේ. සංස්කාර අනාත්ම නම්වේ. විඤ්ඤාණය අනාත්ම නම්වේ. රාධය මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ භවය පිණිස මත්තෙහි කළයුත්තක් නැතැයි දනියි.”

(හත්වෙනි අනත්ත සූත්‍රය නිමි.)