සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
2. රාධ සංයුත්තය
2. දෙවෙනි වර්ගය
11. සමුදය ධම්ම සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, ‘සමුදය ධර්මය, සමුදය ධර්මයයි’ කියනු ලැබේ. ස්වාමීනි, සමුදය ධර්මය කවරේද?”
“රාධය, රූපය සමුදය ධර්ම නම්වේ. වේදනාව සමුදය ධර්ම නම්වේ. සංඥාව සමුදය ධර්ම නම්වේ. සංස්කාර සමුදය ධර්ම නම්වේ. විඤ්ඤාණය සමුදය ධර්ම නම්වේ. රාධය, මෙසේ දකින්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුණේයයි නුවණ (පහළ) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ භවය පිණිස මත්තෙහි කළයුත්තක් නැතැයි දනියි” යනුයි.
(එකොළොස්වෙනි සමුදය ධම්ම සූත්‍රය නිමි.)