සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

3. දිට්ඨි සංයුත්තය

1. සොයෙව පෙය්‍යාල වර්ගය

11. අන්තවා සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ “ලෝකය අන්තවත්ය (කෙළවරක් ඇත්තේය) යන මේ දෘෂ්ටිය උපදීද?”

“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. මේ කීමේ අදහස කුමක් දැයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන සේක් නම් මැනවි.”

“මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.

“ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

[3] “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘ලෝකය කෙළවරක් ඇත්තේය’ යන මේ දෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ ‘ලෝකය කෙළවරක් ඇත්තේය’ යන මේ දෘෂ්ටිය උපදියි. සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ ‘ලෝකය කෙළවර ඇත්තේය’ යන මේ දෘෂ්ටිය උපදියි. සංස්කාරයන් ඇති කල්හි සංස්කාරයන් නිසා සංස්කාරයන්ට පැමිණ ‘ලෝකය කෙළවරක් ඇත්තේය’ යන මේ දෘෂ්ටිය උපදියි. විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ ‘ලෝකය කෙළවරක් ඇත්තේය’ යන මේ දෘෂ්ටිය උපදියි.

[4] “මහණෙනි. ඒ කුමකැයි සිතව්ද? රූපය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ඉදින් ‘ලෝකය කෙළවරක් ඇත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”

“වේදනාව නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ‘ලෝකය කෙළවරක් ඇත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” -“ස්වාමීනි එය නොවන්නේමය.”

“සංඥාව නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද?” - “ස්වාමීනි. අනිත්‍යය,”

“යමක් වනාහි අනිත්‍යනම් එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ‘ලෝකය කෙළවරක් ඇත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.”

“සංස්කාරයන් නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යය නම් එය දුකද, සැපද?”-“ස්වාමීනි, දුකය.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වානොගෙන ‘ලෝකය කෙළවරක් ඇත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” -“ස්වාමීනි. එය නොවන්නේමය.”

“විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යයද එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකයි.”

“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ලෝකය කෙළවරක් ඇත්තේය යන මේ දෘෂ්ටිය උපදින්නේද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.”

[5] “ඇසින් දකින ලද, කණින් අසන ලද, නාසය දිව කය යන තුනෙන් දන්නා ලද, සිතින් දැනගන්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, විමසන ලද, යම් මේ දෙයක් වෙයිද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”

“යමක් වනාහි අනිත්‍යනම් එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”

[6] “යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන “ලෝකය කෙළවරක් ඇත්තේය” යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”

“මහණෙනි, යම් තැනක පටන් ආර්යශ්‍රාවකයාගේ මේ කරුණෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ නිරෝධය පිළිබඳවද සැක දුරු වූයේ වෙයි. ඔහුට දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව පිළිබඳවද සැක දුරුවූයේ වෙයි.

“මහණෙනි. මේ ආර්ය ශ්‍රාවකතෙමේ සොතාපන්නයයිද, සතර අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තෙකැයිද, නියත ගති ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”

(එකොළොස්වෙනි අන්තවා සූත්‍රය නිමි.)