සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
1. සොයෙව පෙය්‍යාල වර්ගය
18. තථාගත සූත්‍රය. (4)
[1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි වනාහි, කුමක් නිසා කුමකට පැමිණ, ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේද නොවෙයි නොවන්නේද නොවෙයි’ යන මේ දෘෂ්ටිය උපදීද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභවකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන්වහන්සේ විසින්ම වදාරණසේක්නම් මැනවි.”
“මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.
“ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇතිකල්හි රූපය නිසා රූපයට පැමිණ, ‘සත්ත්වතෙම මරණින් මතු වන්නේත් නොවෙයි. නොවන්නේත් නොවෙයි’ යන මේ දෘෂ්ටිය උපදියි.
“වේදනාව ඇතිකල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ, ‘සත්ත්වතෙම මරණින් මතු වන්නේත් නොවෙයි. නොවන්නේත් නොවෙයි’ යන මේ දෘෂ්ටිය උපදියි.
“සංඥාව ඇතිකල්හි සංඥාව නිසා, සංඥාවට පැමිණ සත්ත්වතෙම මරණින් මතු වන්නේත් නොවෙයි. නොවන්නේත් නොවෙයි’ යන මේ දෘෂ්ටිය උපදියි.
“සංස්කාරය ඇති කල්හි, සංස්කාරය නිසා, සංස්කාරයට පැමිණ, ‘සත්ත්වතෙම මරණින් මතු වන්නේත් නොවෙයි. නොවන්නේත් නොවෙයි’ යන මේ දෘෂ්ටිය උපදියි.
“විඤ්ඤාණය ඇතිකල්හි විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පැමිණ, ‘සත්ත්වතෙම මරණින් මතු වන්නේත් නොවෙයි. නොවන්නේත් නොවෙයි’ යන මේ දෘෂ්ටිය උපදියි.
[4] “මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? රූපය නිත්‍යය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ‘සත්ත්වතෙම මරණින් මතු වන්නේද නොවෙයි. නොවන්නේද නොවෙයි’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය,”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේද නොවෙයි. නොවන්නේද නොවෙයි’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය,”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද? - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේද නොවෙයි. නොවන්නේද නොවෙයි’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“සංස්කාරය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට නොගෙන ‘සත්ව තෙමේ මරණින් මතු වන්නේද නොවෙයි. නොවන්නේද නොවෙයි’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
“විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ‘සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේද නොවෙයි. නොවන්නේද නොවෙයි’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
[5] “ඇසින් දකින ලද, කණින් අසන ලද, නාසය දිව කය යන තුනෙන් දන්නා ලද, සිතින් දැනගන්නා ලද පැමිණෙන ලද, සොයන ලද, විමසන ලද, යම් මේ දෙයක් වෙයිද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යනම් එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ‘සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි. නොවන්නේද වෙයි’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
[6] මහණෙනි, යම්තැනක පටන් ආර්යශ්‍රාවකයාහට මේ සයවැදෑරුම් කරුණෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධයෙහිද සැකදුරුවූයේ වෙයි, ඔහුට දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව පිළිබඳවද සැක දුරු වූයේ වෙයි.
“මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සොතාපන්නයෙකැයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
(දහඅටවෙනි තථාගත සූත්‍රය (4) නිමි.)
පළමුවන සෝයෙව පෙය්යාලය නිමි.
ශ්‍රොතාපන්නය, ආර්යශ්‍රාවකය සහ භවයෝනිය ප්‍රකාශිත අටළොස් සූත්‍රාන්තය නිමියේය.
වාත, එතං මම, සොඅත්තා, නො ච මෙසියා, නත්ථි කරොථ දෙක, නත්ථිහෙතු, මහාදිට්ඨ, සස්සත, අසස්සත, අත්ත, අනන්ත, තංජීවං, අඤ්ඤංජීවං සහ තථාගත හතරදැයි මේ සොයේව පෙය්යාලයෙහි සූත්‍ර දහඅටකි.